Sunday, May 7, 2017

චිත්‍ර ඇඳීම...


.


චිත්‍ර ඇඳීම ගැන එකවරම මතක් වූයේ විසිරි සිහින අක්කා චිත්‍ර අදින්න ඕනේ යැයි තැබු සටහනක් හේතුවෙනි...
පොඩි කාලේ ඉඳන් මම චිත්‍ර වලට කැමතිය... දකින හැම මඟුලටම අත පොවා ඇණ ගැනීමේ හපනෙකු වූ මා යම් දේකට කැමතියි කී පමණන් මා සතුව ඒ සදහා හැකියාවක් තිබු බවට වරදවා වටහා ගත යුතු නැත...
හය වසරට අලුතින් ස්කෝලයකට ගිය පසු සා.පෙළ ට කලා විශය ධාරාවක් තොරාගැනීම කල යුත්තේ අට වසරේදී ය..ඒ වන තුරු පොදුවේ සෑම වාරයක දීම සංගීතය, නැටුම්, චිත්‍ර වැනි සෞන්දර්යය විශයන් හැදෑරු අපි අට වසරේදි එයින් එක් විශයක් පමණක් තෝරා ගත යුතු අතර එය පන්තියේ සිටි සෑම කෙනෙකුගේම බලවත් අවධානයට යොමු වු කරුණකි... නමුත් මා සිටියේ ඒ පිළිබඳ කිසිවක් නොදැනය.... උදෑසන නිවසින් පිටවු පසු සවස නිවසට යහතින් පැමිණීම ගැන පමණක් ම සළකා බැලු මගේ දෙමාපියන් කුඩා කල සිටිම මාගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ අසීමාන්තික නිදහසක් දී තිබුණ බැවින් මා කුමක් කළත් ඒ මාගේ ම තීරණයක් මත පදනම් වූවකි... නමුත් නිසි උපදෙසක් ගැනීමට කිසිවෙක් නොසිටීම හේතුවෙන් රැල්ලට යනවා ක් මෙන් මිතුරන සමඟම යන දිබ්බාගයක් යෑම මගේ පුරුද්දකි... එයට හොඳම උදාහරණය වන්නේ සාමාන්‍ය පෙළ ඒ ගොඩක් ද සමඟ පාස් වීමේන් අනතුරුවද උසස් පෙළට ඇත්තේ මොනවාද යන්න කිසිම අදහසක් මගේ ඔලුවේ තිබුනේ නැති හෙයිනි..

"මචං ඒ ලෙවල් වලට මොනාද කරන්නේ.....?"

මම විමසා සිටියේ පන්තියේ මට එහා පැත්තේ සිටි මිතුරාගෙනි...

"මැත්ස් මචං "

"ම්ම්ම්.... ඒක හොඳද බං...."

"හොඳයි බම් ගණං නේ තියෙන්නේ.....පාඩම් කරන්න නෑ......"

"එලනේ... මැත්ස් කරලා......"

"ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් බම්......"

"මාත් එහෙනම් මැත්ස් කරනවා....."

මම මිතුරාට කිවෙමි..... නමුත් බයෝ තෝරාගත් ඔහු අද වෛද්‍යවරයෙකි...
එලෙසින්ම සෞන්දර්යය විශය තෝරා ගැනීමේදි කිසිඳු අදහසකින් නොසිටි මා පන්තියේ භාගයකටත් වැඩි පිරිසක් සමඟ පෙරදිග සංගීත කාමරය වෙත ගියේය.... සංගීත ගුරුතුමිය පැමිණි ගෝල රෝත්තේ විශාලත්වය දැක මවිත වූවෙන් බුද්ධිමත්ව කටයුතු කර එකිනෙකා ඉදිරියට ගෙන ජාතික ගීයේ පේළි කීපයක් ගායනා කරන්නට කීවෙන් මහත් වු ටකරං කටහඩක් හිමිව තිබු මම හා මිතුරන් බොහෝ ප්‍රමාණයක් පෙරදිග සංගීත කාමරයෙන් පරාජිතව එළවා දැමුණි...

"දැං මොකෝ කරන්නේ......."

මම ළඟ වුන් එකෙකුගෙන් ඇසුවෙමි..

" යමං චිත්‍ර කරන්ඩ......."

ඒ තව එකෙකි....

"අපෝ චිත්‍ර.... මට නම් බෑ..... අපේ අක්කා නැටුම් කරන්නේ මම යනවා නැටුම් කරන්න....."

ඒ මගේ හොඳ මිතුරෙකි....

" ඒ යමං ද වෙස්ටර්න් මියුසික් කරන්න......"

"ඒ කීවේ මොනාද බම්......"

ඒ මම ය....

"ඒ.... ඉංග්‍රීසි සිංදු එහෙම කියන එකක්.....

" ඉංගිරීසි මුකුත් කරන්න නම් මට බෑ......"

මම පස්සට ඇද්දෙමි.

" යමං කෝ........"

නඩය කොටස් කීපයකට කැඩුණි...
මාවත් ඇදගෙන වෙස්ටර්න් මියුසික් කාමරයට ගිය මිතුරු කැළ ට නැවතත් පරීක්ෂණයකට මුහුණ දෙන්නට සිදුවිණි... ඒ ඉංගිරීසි සින්දුවක් ගයනා කිරීමයි.... මහත් දක්ෂතාවන් පෙන්නුම් කල මිතුරෝ ටුවින්කල් ටුවින්කල් වැනි ඉංගීරිසි සින්දු චතුර ලෙස ගායනා කරන විට මා දෙනෙත් ආයා බලා සිටියේ මවිතයෙනි.... අන්තිමට තිබුනේ මගේ වාරය ය... මම දන්නා ඉංගීරිසි සින්දුවක් නැත.... කාරුණිකව මා ඇමතු ගුරුතුමිය හැපි බර්ත්ඩේ සින්දුව කීමට මට කීවාය....... මම එයද සම්පූර්ණයෙන් නොදැන සිටියෙන් ජීවිතේ ප්‍රථම වරට ඉංග්‍රීසියෙන් ඈ මා සමගම එම ගීතය ගායනා කළාය...
කෙසේ නමුදු බටහිර සංගීතය ද කිරීමට වරම් නොලද මම ඒ කාමරයෙන්ද පිටමං විය....ඊට එහා පැත්තේ වූයේ චිත්‍ර කාමරය වූ වද මම නැටුම් කාමරය සොයා දිව ගියේ හොඳම මිතුරෙකු නැටුම් කරන්න ට ගිය හෙයිනි...
නැටුම් කිරීම සදහා තෝරාගැනීමේ පරීක්ෂණ කිසිවක් නොවීය...

"එතකොට තෝරලා බැරි වෙච්ච උන් ටික අපි බාර ගන්න ඕනේ......."

සංගීත කාමරයේ වු හබය දැන සිටි නැටුම් ගුරුවරිය කී දෙය ඊයම් බරූ සේ මගේ හදවත කිදා බැස්සේය..... කරන්නට කිසිත් නැති කල මම පාඩූවේ වාඩි වී සිටියෙමි....
ඊළඟ සෞන්දර්යය පීරියඩ් එකේදි මම චිත්‍ර තෝරාගත් මිතුරෙක් සමඟ චිත්‍ර කිරීමට මාරු විය.....
චිත්‍ර කිරීම මගේ සිත් ගත්තේය.....පැන්සලෙන් ඇදීම ආසාව වඩවන දෙයකි.... නමුත් මම පාට කරන්නට ගත් විට මුළු චිත්‍රයම කැත වන බව මට අවබෝධ විය... නමුත් වෙනත් යමක් කිරීමට නොමැති තැන මම බොක්කෙන්ම චිත්‍ර කළෙමි...
ඊළඟ වාරයේ දිය සායම් චිත්‍ර ඇදීම තිබු බැවින් දිය සායම් හා බුරුසු ගැනීමට තිබුණි.ඒවා අස්ප ගණං ය.... නමුත් සංගීතය තෝරා ගත් කීප දෙනෙක්ටම වයලීන් ගන්නට සිදුවු බැවින් ප්‍රථම වතාවට හිතට සතුටක් දැනුණේ ය.... වාර කීපයක් ම මම චිත්‍ර ඇන්දෙමි... සෑම නිවාඩුවකදීම චිත්‍ර කීපයක් ඇදීමට නියමිත විය... එක්වරක් ගෙයක් ඇදීමට නියමිත ව තිබුනෙන් මා මහත් ගැටළුවකට පත්වූයේ කඩ කාමරයක ජීවත් වූ අප ගේ නිවස චිත්‍රයකට ඇඳීම කෙසේවත් කළ නොහැකි හෙහිණි.. අනතුරුව මගේ හොඳම මිතුරෙකුගේ නිවසක් ඇන්ද හැටි තාමත් මට මතකය... එය මා ඇඳී හොදම චිත්‍රයක් විය...වහලේ වූ උළු කැට පේළි පවා ගණං කර ඒ අයුරින්ම චිත්‍රයට නැඟු හැටි මතක් වෙද්දී තාමත් හිනා යයි....
කෙසේ වෙතත් චිත්‍ර ඇදීම ජයටම ගියේය... චිත්‍ර තරඟ කීපයකින් ජය ලබා සහතික ද ලැබුණි... ඉන්දියාවේ පැවති චිත්‍ර තරඟයකට පවා සීගිරී ලලනාවන් ඇඳ යවා කුසලතා සහතික දිනුවේය.....
.
කෙසේ වෙතත් චිත්‍ර කෙරුවාව අවසන් වූයේ නමය වසර මුල් වාර නිවාඩුවේන් පසුවය.... අවුරුදු නිවාඩුවට පැවරූම් වශයෙන් චිත්‍රයක් ඇඳගෙන ඒමට පැවරුණෙන් මම අදින ලද්දේ හවස් වරුවක කුඹුරක ගොයම් කැපිමකි. ගැහැණු දෑකැති වලින් ගොයම් කපන හැටි.. ගොයම් මිටි බැඳ ඔසවා ගෙන යන සැටි... ඈතින් ඉර බසින හැටි...කොක්කු පියාඹන හැටි... මනරම්ව ඇඳ වර්ණ ගන්වා තිබුණි...
එදින චිත්‍ර පරීක්ෂා කිරීමට නියමිත තිබුණේ වයස්ගත් චිත්‍ර මැඩම්ටය...
මම ආඩම්බරයෙන් අඳින ලද චිත්‍රය ගෙන ඈ වෙත ගොස් ඉදිරිපත් කලේය....
ඈ චිත්‍රය දිඟ හැර මදක් වේලා බලා සිටියාය.... නැවත දමා හුන් කණ්ණාඩිය තදින් ඇස් වල රුවා ගෙන බැලු ඈ සුස්මක් හෙළුවාය......

"මොකක් ද මේ ඇඳලා තියෙන්නේ.... ගෑණු ටිකක් බස් එකක යනවා නේ ද......."
.
මම ගල් ගැසී ඈ දෙස බැලුවෙමි.....මට පොළෝව පළාගෙන ගොස් සැඟවෙන්න සිතුණි..මම ගොත ගැසුවෙමි.....
.
"නෑ.....මැ..ඩ..ම්.... ගොයම් ක...පනවා........"
.
"ආ..... එහෙමද.....මට නම් පෙණුනේ අරහෙම......"
කී ඈ....තවත් මොහොතක් චිත්‍ර ය දෙස බලා සිට හරියක් දමා ආපසු දුන්නාය......

ඉන් පසුව මම කිසි දිනක චිත්‍ර කාමරයට ගියේ නැත.... දිගටම පීරියඩ් කට් කරමින් කට්ටි පැන්න මාගේ වාසනාවට පාසලේ අලුතින්ම කලා විශයක් ලෙස නාට්‍ය හා රංග කලාව නම් රසවත් විශයක් මුල් වරට පටන් ගත්තෙන් මම එයට මාරු වී සාමාන්‍ය පෙළ කලා විශය ධාරාවට ලෙහෙසියෙන්ම ඒ සාමාර්ථයක් ගත්තෙමි......
.
නමුත් අද වන තුරු කිසිත් චිත්‍රයක් නම් ඇන්දේ නැත......

6 comments:

  1. බුකියෙන් දැකලා බ්ලොග් ලියන්නෙක් වග මේ පැත්තට ගොඩ වුනෙමි.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.... ඉන්නවට කොටං ඉන්න එකක් මිස වැදගත් යමක් නම් මේකේ නෑ.....කෝම උනත් ජය වේවා සඳවතී...

      Delete
  2. තියමින් අඩිය සංගීතය චිත්‍ර නැටුම්
    ගිය එක් දෙයින්වත් ඉටුවී නෑලු සිතුම්
    ඔය අතරේ ආ නාට්‍ය සමග රැඟුම්
    බිය නොමැතිවම ඉටුකරගත්තාලු පැතුම්.....

    නිවාඩු වෙලාවක චිත්‍රයකුත් ඇඳලා බලන්න.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. නියමයි....දුමී...මේක මරු.........

      Delete
  3. මමත් එහෙමයි ..සංගීතෙට ආසාවෙන් හිටියත් මිස්ගේ සොබනේ නිසා සංගීතේ කලේ නෑ ..නැටුම් වලට මි මාව බලෙන් ගත්තත් කෙල්ලෝ එක්ක නටන්න අකමැති නිසා ගියේ නෑ..අන්තිමට ච්ත්‍ර කාමරේ නැවතිලා සාපෙට s එකක් දෑ ගත්තා

    ජය වේවා .!!!!

    ReplyDelete
    Replies
    1. ගොඩවැදුනට තුති...... මං එහෙම චිත්‍ර දිගටම කළානම් ලයිට් කණුවක් එල්ලං තමයි නැවතෙන්නේ....මගේ තිබ්බ දක්ෂතා හැටියට.....
      .
      ජය වේවා....

      Delete

මරීනයි මායි...

මරීනයි මායි...