Thursday, May 4, 2017

පොද වැස්ස....



අදවත් හවස් වෙනකොට වහී....
ප්ලැට් ෆෝම් එක කෙළවර පුන්චි රොඩු බොඩු කෑලි වගයක් සුළං කැරැල්ලකට අහුවෙලා කැරකෙන හැටි දැකලා මට හිතුණා... වහී කියලා ලොකු බලාපොරොත්තුවක් තිබුනේ නැති උනත් වැස්සොත් කොච්චර දෙයක් ද... කාටද පුළුවන් මේ රස්නේ ඉවසගෙන ඉන්න..... මම ලේන්සුව අරගෙන ආයේ පාරක් බෙල්ල වටේ පිහදාගත්තා....
දැනටමත් හතරයි....අදත් පරක්කුයි... පුන්චි සිතිවිල්ලක් ඇවිත් හිත ආයේමත් රිදුනත් පරක්කු උනාට මොකද නෑවිත්ම ඉන්නවට වඩා කියලා අස්වැසිල්ලක් නොතිබ්බාම නෙමෙයි..... මම වාඩි වෙලා හිටපු ලී බංකුවේ ටිකක් හරි බරි ගැහිලා වාඩි උනා.... ස්ටේෂන් එක කෙළවරම තිබුණු බංකුව හින්දා තව ටිකකින් මෙතනට අව්ව වැටෙනවා.... මම මිරිඟුව හින්දා බොඳ වෙලා පේන ඈත දුරට ඇදෙන රේල් පීලි ඔස්සේ ඇස් දෙක ගෙනිච්චේ කිසිම දෙයක් හිතන්නේ නැතුව.....පහ වෙනකන් කිසිම කෝච්චියක් නැති හින්දා ස්ටේෂන් එකම පාලුයි......හරියට මගේ හිත වගේ......
ඉස්සර ඉඳන් මේ වගේ කොච්චර වෙලා තනියම වාඩි වෙලා එක එක දේවල් හිත හිත ඉඳලා තියෙනවද... සිතුවිලි ඔස්සේ අතරමං වෙලා ආයේ එකින් එක හිතුවේ මොනවද කියලා ආපස්සට යන්න පුළුවන් එක කොයි තරම් දෙයක්ද..... එතනින් විතරයි මේ ඇත්ත ලෝකයද සිහින ලෝකයද කියලා වෙන්කරගන්න පුළුවන්.....
මම ආයෙමත් ෆ්ලැට් ෆෝම් එකේ කෙළවරටම දෑස මෑනුවා.... කොච්චර දුර ඇතිද එතන්ට....මීටර් සීයක් එකසිය පණහක්....... දෙසීයක් නම් නෑ... එකසිය පණහක් තියෙයිද..... සමහරු කියන විදිහට මේ තමයි ලංකාවේ දිගම ෆ්ලැට් ෆෝම් එක..... සමහරු කියනවා වෙන කොහෙදෝ දිග්බාගයක මීට වැඩිය දිග එකක් තියනවා කියලා... ඒත් කවදාවත් ඇත්ත මොකක්ද කියලා හොයන්න මට උවමනාවක් තිබුණේ නෑ.... මම දැනගෙන හිටියේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවරට සෑහෙන දුරක් තියනවා කියලා විතරයි.... ඒ දුරම ඇවිදගෙන යනකොට හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම උදුරාගන්න පුළුවන් මහ අද්භුත බලයක් මේ ෆ්ලැට් ෆෝම් එකේ තියෙනවා කියලත් මම විශ්වාස කරනවා... ඉතින් හැමදේකටම වැඩියෙන් ඒ කෙළවරේ ඉදන් එයාගේ අත අල්ලගෙන මේ කෙළවරට එන්න මම කැමතියි......
ඈත කෙළවරින් මිනිස් රූපයක් මතුවෙද්දි හිතට සංතෝසයක් ආවේ ඒ හින්දමයි.....ඒ රූපය වැඩිය පැහැදිලිව නොපෙනුනත් ටික ටික ළං වෙද්දි ඒ එයා කියලා මම අඳුර ගත්තා.... මම දන්නවා තව විනාඩි පහකින් එයා මං ගාවට එනවා කියලා... ඉතින් මම ඒ දිහාම බලාගෙන ම හිටියා.... එයාට තිබුනේ මහ අමුතු ම ගමනක්..... මුලින්ම දැක්ක කාලේ මට හිතුනේ ඒ ගමන මහ අමුතුයි කියලා....ඒ බට්ටි වගේ ඉඳගෙන ඈතින් ඈතින් අඩිය තිය තිය, අමුතු මවාගත්ත කලබලයකින් ඇවිදින වෙන කෙනෙක් මගේ ජීවිතේට ම දැකලා නැති හින්දා වෙන්න ඇති... ඒත් ටික දවසකින් ඒ බර අඩි වලින් මගේ පපුවේ හැම අඩියකම සක්මන් කරන්න ගන්නකොට මට ඒ තරම් ලස්සන ගමනක් ආයේ හිතාගන්න බැරි උනා... තාමත් කොච්චර වෙලා බලං හිටියත් එපා වෙන්නේ නෑ.....
ටිකක් ළං වෙනකොට මට එයාගේ අලුත් ම ගවුමේ හැඩ පෙණුණා..ඒක ටිකක් කොට වැඩියි වගේ..... හිත නිකං පිච්චිලා ගියේ ඇයි කියලා මම දන්නේ නෑ..... ඈත ඉඳන්ම හිනාවකින් මුණ පුරෝගෙන ආපු එයා මං ගාව නැවතිලා ලොකු හුස්මක් හෙළුවා....
.
"පරක්කුද මං................."

සුදු පාට මල් වැටුණු නිල් පාට කුඩේ අකුලන ගමන් එයා ඇහුවේ කිසිම ගාණක් නැතුව... ඒ එයාගේ හැටි.
.
"නෑ...විනාඩි විස්සයිනේ...... ඒකට කමක් නෑ......"
ඒ මගේ හැටි.
.
"සොරි අනේ...... මම කලින් එන්න හිටියේ.. ඒත් දිනුෂි ගේ බෝයිට බර්ත්ඩේ ප්‍රසන්ට් එකක් තෝරන්න එන්න කියලා පොරේ.... ඒකත් ඉවර කරලා ආවේ........"
.
මෙරූම් පාට හෑන්ඩ් බෑග් එකට කුඩේ ඔබාගෙන එයා මං ගාවින් වාඩි උනා.... මම එයාගේ වම් අත අල්ලගත්තා.... අව්වේ ඇවිත් අල්ලටත් එක්ක දාඩිය දාලා....මුළු මූණම රතු වෙලා.....
.
"මං කීවනේ කමක් නෑ කියලා......මට බලං ඉඳලා පුරුදුයි......"
.
"ඔව්...ඔව්... හමුදා නීතීනේ.... මට කවදාවත් පරක්කු වෙන්න බෑ...හැබැයි බලං ඉන්න පුළුවන්.......".
මහ හයියෙන් හිනාවෙලා එයා මම හැමදාම කියන එක අනුකරණය කළා.... හම්මේ මං ඒ හිනාවට ආදරය කරන තරම්...................
.
"ඉතින්......"
.
"ඉතින්......"
.
අපි දෙන්නගේ ඇඟිලි තුඩු මිරිකුණා.... ඇස් ඇතුලෙන්ම හිනාවුනා......
.
"කොහොමද වෙඩින් එක.......?"
අන්තිමේදි ඒ බැල්මෙන් මිදිලා මම ඇහුවා......මොනවහරි අහන්නත් එපැයි....
.
"ශෝක් අනේ.... ඔයා දැක්කද ෆොටෝස්......"
.
මම ඔලුව වැනුවා.....ඊළඟ විනාඩි ගානම ගෙවිලා ගියේ එයාගේ ෆෝන් එකට අපි දෙන්නම එබීගෙන....

"මොනවද අද මට ගෙනාවේ.......?"
.
"ම්ම්ම්ම්ම්..... අලපෙතියි....සාර විටයි........"
.
මම පැත්තක තිබ්බ කඩදාසි බෑග් එක අතට ගන්න ගමන් කීවා....එයාගේ ඇස් ආයෙමත් දිලිසුණා....කොහේදෝ ඉඳන් ආපූ වැහි හුළගක් එයාගේ කෙස් කැරළි අවුස්සද්දි....එයා මූණට වැටුණු කෙස් රොද කීපයක් එයා අතින් ඈත් මෑත් කළා.... මට පිස්සු හැදෙන්නේම මේ වෙලාවට.....මම එකපාරටම එයාගේ මුණට පාත් වෙලා වළ ගැහිලා තිබුණු වම් කම්බුල ඉම්බා...

" යන්න....කෝ.... කවුරු හරි දකී.............."

මම ලාවට හිනා වුණා....මගේ හිතට අත් තටු ඇවිත් වගේ සැහැල්ලුවක් දැනුණේ.... ඈත පෙනෙන අලගල්ලට එපිට වැහි වළාකුළුක් මෝදු වෙලා..... අද නම් වහී.....ආයෙමත් හිතට සතුටක් ආවා...
.
"මාත් බඩ්ඩක් ගෙනාවා ඔයාට......"

එයා තාම රතුවෙලා.... බෑග් එක අවුස්සපු එයා කවරයක් මගේ අතට දුන්නා.... මම ඉක්මනට බැලුවා....

"රට චොක්ලට් මල්ලක්ම.....වාව්.......කොහෙන්ද "

මම ඉක්මනට අර මැදට පොල් දාලා තියෙන චොක්ලට් එකක් කඩන ගමන් ඇහුවා.....එතකොට එයා මම ගෙනාපු අලපෙති බෑග් එක තුරුල් කරගෙන......

"විනු අයියා ආව........ වෙඩින් එකටත් එක්ක......"
.
"අර ඔයාගේ මස්සිනා කාරයා නේ........ ඔසී හිටපු......"
.
"ම්ම්............"

මම ඩාර්ක් චොක්ලට් එකක් කඩලා කෑල්ලක් එයාට දුන්නා....එයා ඔලුව වනලා එපා කියලා අල පෙත්තක් අරගත්තා.....මම ඒ කෑල්ලත් කට්ට දාගත්තා....

"මොකක්ද ලොකු දෙයක් කියන්න තියනවා කීවේ.......විනොද් මොනවාහරි ඇහුවද........?"

ඒ විනාඩි ගාණට පස්සේ මම හිතේ තිබ්බ ලොකුම බර සැහැල්ලු කරගන්න හිතාන ඒ ප්‍රශ්නේ ඇහුවා........මම බලාගෙන ඉඳිද්දීම ඒ මූණ අඳුරු වෙලා ගියා...
.
"ම්ම්ම්ම්........"

"මොකක්ද.....?"

මම ඒ ප්‍රශ්නේ ඇහුවේ පුදුම කේන්තියකින්... කට්ට තිත්ත රහට දැණුනු ඩාක් චොක්ලට් කෑල්ල බිමට කෙළ ගහගෙන.....
.
"මගෙන් නෙමෙයි............ අම්මගෙන් අහලා තියෙයි මං ගැන......."

" මිනිහා ප්‍රෝපෝසල් එකක් ගෙනත්ද......"

"ම්ම්ම්...."

"ඉතින්..... අම්මලා මොකද කීවේ........?"

"අම්මලා කැමතියි........"

හෝ ගාගෙන හෝන් එකකුත් ගහගෙන ඉන්ටර්සිටිය අපි දෙන්නා ඉස්සරහින් ගියේ විදුලි වේගෙන්....ෆ්ලැට් ෆෝම් එක පුරාම තිබ්බ දුවිලි කොළකැලි ඉන්ටර්සිටියේ වේගෙට ඇවිස්සුණාම මම ඔලුව පාත් කරගත්තා.....ඒත් තාමත් මම එයාගේ අත තදින්ම තුරුල් කරගෙන...
.
"ඉතින් දෙයියනේ ඔයා කොහොමද කිසි දෙයක් ගණං ගන්නේ නැතුව මේ වගේ ඉන්නේ...................."

මම අමාරුවෙන් වචන ගැලපුවා.....
.
"අම්මලනේ කැමති.......මම නෙමෙයි නේ.........ඔයා බය වෙන්න එපා..........."
.
ඒ වචන ටික මට මාර විදිහට වැදුනා.... මම එයාව තුරුල් කරගත්තේ හිත ආදරයෙන් පිරිලා යද්දී......ආදරය කරන කොල්ලෙක්ට මීට වඩා දෙයක් අහන්න ලැබෙනවද තමන් ආදරය කරන කෙල්ලගෙන්....
.
"මේ බලන්න ඔයා කැමති නැති හින්දා මම වෙඩින් එකට යන්නවත් කිව්ටෙක්ස් ගෑවේ නෑ.........."
.
මේ තරම් ආදරය කරන්න කෙල්ලෙක් ලෝකේ කොහෙන් හොයන්නද.....මගේ ඇස් ලාවට තෙත් වෙන්න ආවා....මම ලොකු හුස්මක් අරගෙන ඒ ආදරය පුළුවන් තරම් ඇතුලෙන් ම තැන්පත් කරගත්තා.....
.
"ඔයා දන්නවනේ මගේ ජිවිතේ ම විකාරයක් කියලා... මම ඉක්මනට මේක පිළිවළක් කරගන්නවා....ඔයාට වැඩිකාලයක් ඉවසන්න වෙන්නේ නෑ....."
.
"ම්ම්ම්............"

ඒ එයාගේ හැටි.....ඉවසන්න බැරීම වෙනකොට ගොලු වෙන එක.....මම හීමිට ඔලුව ඉස්සුවා.....
.
"ට්‍රේන් එක එන්න ඉස්සර පොඩ්ඩක් ඇවිදිමු............"
.
හීනි පොද වැස්සක් වැටෙන්න පටන් ගත්තා විතරයි.....ඒත් එයාගේ පුන්චි කුඩේ අපි දෙන්නට ඇතිවෙයි.... මම හිතුවා...
බංකුව උඩ තිබ්බ චොක්ලට් පාර්සලේම ළඟ තිබ්බ කුණු කුඩේට මම ඔබද්දි එයා බිම බලාගෙන හිනාවෙනවා.
.
"යමු...... "

මම කියද්දිම එයා කුඩේ දිග ඇරගෙන මගේ අතේ වෙළුණා.
අපි දෙන්නම හීමීට ෆ්ලැට් ෆෝම් එකේ කෙළවරට පියවර මෑනුවා.....

############################

No comments:

Post a Comment

මරීනයි මායි...

මරීනයි මායි...