Monday, September 5, 2016

මන්දාරමෙන් එහා.......


ඒක මහ පාළු හැන්දෑවක්.... මන්දාරම් ගතිය හොඳටෝම වැඩිවෙලා සීතලත් එක්කම වැහි බිංදු මට පහර දෙන්න පටන් ගත්තේ හිතක් පපුවක් නැතුව වගේ.... ගෙනාපු කුඩේ මම බස් හොල්ට් එකේ ඉඳන් දිඟ ඇරගත්තේ තෙමෙනවට බයේ නෙමෙයි.... පුරුද්දට...
බිම බලාගෙන හිටිය මගේ අපහැදිලි මුහුණ පෙනුණු වතුර කඩිති උඩට වැහි බිංදු වැටිලා බොඳ වෙලා යනවා මම ඔහේ බලං ඉද්දි හුළඟත් එක්ක ආපු හිරිකඩට මම තෙමිලා ඉවරයි....හුළං පාර වුනත් මාත් එක්ක තරහින් වගේ....
එකපාරටම වතුර වළවල් දෙබෑ කරගෙන ආපු රතු පාට බස් එකක් මං ගාවම සැරට් බ්‍රෙක් පාරක් ගහගෙන නැවත්තුවා...මම කල්පනාවෙන් මිදුණේ එතකොට... කුඩේ ඉහලගෙන හිටියත් මම සෑහෙන්න තෙමිලා... බස් එක අද්දන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි මම කුඩෙත් අකුලගෙන බස් එකට ගොඩවැදුනා....


බස් එකෙත් මහ මුසල පාළු බවක් තිබුනේ...එලියේ තිබ්බ අනෝරා වැස්සෙන් තෙහෙට්ටුවට පත්වෙලා හිටිය හැමෝම තම තමන්ගේ සීට් වලට වෙලා මතකයන් එක්ක තනි වෙනවද කොහෙද.... ජනේල අද්දරින්ම තිබ්බ හිස් ආසනයකට මම බරවුණා.... ජනෙල් වීදුරුව ඇතුලෙන් මීදුම් වලාවක් බැඳිලා... එලියෙන් වැහි බිංදු හෝ ගාලා වීදුරුවේ වැදිලා බේරිලා වැටෙනවා....
මම හීන් සීරුවේ ඒ මීදුම් පටලය අතින් පිසදැම්මේ වෙනදා වගේ කිසි රිද්මෙකට එහෙම නෙමෙයි....ඒ හිඩස් අතරින් මට පසුකරගෙන ආපු මතකයන් විතරමයි පෙනුණේ...



ඔව්....එදා.... මේ වගේම අනෝරා වැස්සක් වැහැපු වෙලාවක්..... හැබැයි ඒ වැස්සේ පුදුම ජීවයක් පිරිලා ඉතිරිලා තිබුනා...සිරි බිරි ගාලා වැටෙන වැස්ස අඩුවෙන පාටක් නොතිබිච්ච එදා මම කුඩයක් අරගෙන ගියපු එක කොයිතරම් දෙයක්ද..... ඒ වැස්ස අතරින් සෑහෙන්න තෙමිලා එන ඔයා දැක්කහම මට දැනුණේ මුළු ලෝකෙම නැවතුනා වගේ... තෙමි තෙමි හිටපු ඔයා ළඟට මම ඇදිලා ගියේ හීනෙන් වගේ...


 මම එකපාරටම කුඩේ ඔයාගේ පැත්තට ඇල්ලුවා...ඒ පාර තමයි ඔයා මුල්ම වතාවට මගේ මුහුණ දිහා බැලුවේ... මගේ හදවතත් එක්ක නැවතුනා.... ඒ ඇස් ලාවට හිනා වෙද්දි තමයි මට තේරුණේ වැඩිපුර ඔයාගේ පැත්තට බර වෙලා තිබුන කුඩේ හින්දා මාත් සෑහෙන්න තෙමිලා කියලා....  ඒතකොටම ඔයා ඇස් වලින් තවත් හිනාවේවිම මට තවත් ළං වුනේ ආත්මීය බැඳිමක සුවඳක මතකයන් අවදි කරගෙන.........


ඇත්තමයි.... මේ හැම දේම පටන් ගත්තේ ඒ මොහොතේ ඉඳලා.... ඒක කවදාවත්ම මට ඔයාට කියන්න බැරිවුණ දෙයක්... ඇස් පියන වාරයක් පසා ඒ මතකයන් එක සීරුවට මගේ ඇස් මත්තෙම දඟ කරනවා හැම වෙලේම... ඊට පස්සේ..... තෙමිලා හිටපු අපි දෙන්නා උණුසුම් කෝපි කෝප්පයක් බොන ගමන් කොයිතරම් දේවල් කතා කරාද... අපි දෙන්නටම දැනුණේ අපි මහ හුඟක් කල් ඉඳන් දන්නවා වගේ..... මට මතකයි ඔයාට කෝපි මදිවෙලා මගේ කෝප්පෙනුත් බීවා..... කොයිතරම් උනත් ඒ වැස්සට බැරිවුණා අපි දෙන්නගේ හිත් වල උණුහුම නැතිකරන්න.... ටිකෙන් ටික ඔයාගේ කම්මුල් රතු වෙද්දි මම දැනගත්තා මම තමයි මේ ලොකේ ඉන්න වාසනාවන්තම කොල්ලා කියලා.....



ඇයි මට මතකයි රතු පාටට ඉර බහින හැන්දෑවක මම ඔය තොල් කුළුඳුලේම සිපගත් දවස..........
"බ්ර් රා.......ස්......"
ඒ බ්‍රේක් පාරත් එක්ක මගේ මනෝ ලොකේ සුණු විසුණු වුණා....


 මගේ ගමනාන්තයට බස් එක ඇවිදින්.... මම අසුනටම බර දීලා නැගිටිනකොටම මතක ඔක්කොම කැටිවුණ ලොකු හුස්මක් හෙලුවා.... බස් එකෙන් බහිද්දිම සීතල මාව වෙලාගත්තේ හරි ඉක්මනට....පාර දිගේ මම ඔහේ ඉස්සරහට පියවර මෑනුවේ සිහිකල්පනාවකින් ද කියලා මමවත් දන්නේ නෑ....



පාර දෙපැත්තට බෙදෙන තැනක තිබුණ මල් විකුණන පුන්චි කඩයක් ළඟ මම නැවතුනේ පුරුද්දට වගේ.... මම කියන්නත් ඉස්සර මල් වෙළෙන්දා රතු පාට ලොකු කානේශන් මල් පොකුරක් අරගෙන මගේ අතට දීලා හිනාවුණා.... ඒ හැමදාම මම මෙතනින් මල් අරගෙන යන හින්දා.... එයා කැමතිම මල් වර්ගේ තමයි රතු පාට කානේශන්....


එතනින් පාර දෙපැත්තට බෙදෙනවා.... එක පැත්තක් ඉවර වෙන්නේ අපි දෙන්නා හැමදාම හම්බවෙන පාක් එක ළඟින්....ඒත් මම හැරුණේ කවුරුවත් වැඩිපුර යන්නේ නැති අනිත් පාර දිහාවට..... මම ඒ පාර කෙළවර වන තැනට පියවර මැන්නේ හීනෙකින් වගේ.... තාමත් අනෝරා වැස්ස... මට හිතාගන්න පුලුවන් අහස ඇයි මෙච්චර අඩන්නේ කියලා..... කම්බි වැටකින් සීමව වෙන්කරපු තණ බිම් යායට මම වැස්සේම ඇතුල් වුණා.... කෙළවරක තිබ්බ කිරිගරුඬ සොහොන් ස්මාරකය ළඟ මම ඇද වැටුනේ දරා ගන්න බැරි වේදනාවකින් පපුවම මිරිකෙද්දි.........


ඔයා දන්නේ නෑ වගේ පාඩුවේ මේ සුසානය යට කොහොම ඉන්නවද මංදා... කුඩේ මගේ අතින් ගිලිහිලා හුළං පාරත් එක්කලා ඈතටම ගහගෙන ගියා... මම කානේශන් මල් පොකුර ඔයා ගාවින්ම තිබ්බේ ගල් අතර කොටලා තිබ්බ ඔයාගේ නම අතර ඇඟිලි තුඩු ගෙනියන ගමන්...... දහස් ගණන් මතක සැමරුම් එක දිගට ඔලුවට ඇවිත් ඇස් දෙකෙන් දෝරේ ගලන් කඳුළුත් එක්ක ඔයා සැතපෙන තැන සිපගද්දි වැහි බිංදු අරන් ආපු සුළඟ දුකෙන් වගේ ඔයාගේ සොහෙන ළඟ කානේශන් මල් පෙති විසිරුවා......


පපුවේ වැදෙන සීමාවේ එල්ලගෙන හිටපු ලොකට් එක අස්සේ තිබ්බ ඔයාගේ ලස්සනම හිනාව දිහා බලාගෙන මම සොහොන් කොත ළඟ හිස ගසා ගත්තා......
සීතලම වැස්සේ අඩුපාඩුවට අඳුර අරගෙන රාත්‍රීයත් මගේ ජිවීතේට ගොඩවදින්නට නියමිතව තිබුණා.....



"ඔබ එන තුරා 
හිඳිමි මම මඟ බලා...
සැඟවෙන්න එපා 
ඔබ මන්දාරමෙන් එහා...
.
හිනහෙන්න අවසරය අරන් 
ඔබ කොහෙද දුර ගියා...
ඉතින් සිනාසෙනු එපා 
හිඳ මන්දාරමෙන් එහා...
.
තුන් හිතට උහුලන්න බෑ 
ඔබ කියන සරදම් කතා...
කඳුළ මට දී සැඟ වී 
ඔබ මන්දාරමෙන් එහා......"

 *********************************************************************************




11 comments:

  1. එක දෙයක් මතක් වුන නිසා හිත එහෙමම නතර වෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. ආයේ ගැහෙන්න ගත්තහම අකුරු කරන්න.... දුක බෙදා ගන්න...

      Delete
  2. සංවේදී සටහනක්...හිතට දැනුනා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගොඩක්....

      Delete
  3. අනේහ් . . ලොකු සුසුමක් පිටවුනා කියෝලා ඉවර උනාම.

    අපූරුවට ලියලා ඊට වඩා අපූරු පින්තූර ටික.

    ඔයාද ඇන්දේ?

    නියමයි කතාව, ගලාගෙන ගිය ගිය විදිහ, පින්තූර . . . ශෝකාන්ත වලට මම කැමති නෑ ඒත් එහෙම කියලා නොබලා නොකියවා ඉන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. පින්තුර ටික මුහුණු පොතේ ශෙයා වුණ එකක්,,,, පින්තුර වලට කතාව ගැලපුනා දුකා.. ස්තුතියි හදවතින්ම... ශෝකාන්ත කියන්නේ විඳින්න පුලුවන් දෙයක්....

      Delete
  4. ලස්සනයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එල.... තැන්කූ ගස් ලබ්බේ....

      Delete
  5. බොහොම ලස්සන (සංවේදී) කෙටි කතාවක්.

    ReplyDelete
  6. හුඟාක් හිතට දැනුනා....ඕ යේස් දුක කියන්නේ විඳින්න පුළුවන් දෙයක් හැබැයි විඳවලා විඳවලා අන්තයේදී තමයි ඒ විඳිම දැනෙන්නේ

    ReplyDelete
  7. හුඟාක් හිතට දැනුනා....ඕ යේස් දුක කියන්නේ විඳින්න පුළුවන් දෙයක් හැබැයි විඳවලා විඳවලා අන්තයේදී තමයි ඒ විඳිම දැනෙන්නේ

    ReplyDelete

මරීනයි මායි...

මරීනයි මායි...