Tuesday, August 30, 2016

කුසලානය හිස් පහර හා සී..සී...



ඒ මීට අවුරුදු දහයකට පොරොතුවයි.....

පාපන්දු ලෝක කුසලාන තරඟය අතරතුර ප්‍රතිවාදි ඉතාලි පිලේ ක්‍රිඩකයෙකුට හිසෙන් පහරදී අඩ පණ කල හේතුවෙන් පිටියෙන් ඉවතට යැවු ප්‍රංශ කණ්ඩායම් නායක සිනෙඩියන් සීඩෑන් කුසලානය අසලින් බිමටම නෙත් යොමාගෙන ඇවිද ගිය අයුරු ලෝක පාපන්දු ඉතිහාසයේ දුක්බරව සටහන් වූ අයුරුය....

තරගයේ ප්‍රතම බාගයේදීම දඩුවම් පහරකින් අනගි ගෝලයක් ලබා ගත් සීඩැන් අවසාන අතිරේක කාල සීමාවට මොහොතකට පෙර තරඟ පුවරුවේ 1-1 ලෙස සලකුණුව ඇති අවස්තාවක පිටියෙන් ඉවත් වීම ප්‍රංශ පිලට දැරිය නොහැකි පාඩුවක් විය... තරගය අතරතුර සිදුවු බහින් බස් වීමක් කෙලවර වුයේ ඔහු තම මුඩු හිසින් දරුණු පහරක් ඉතාලි ක්‍රිඩකයෙකුට එල්ල කිරීමට සිදු වූයේ තම දෙමාපියන් අලලා එල්ල කල වාග් ප්‍රහාරයකට පිලිතුරු වශයෙනි...



සීඩැන් රතු කාඩ් පතත් රැගෙන පාපන්දු ලෝකයෙන් සමුගත්තේය...ඉතාලිය ලෝක කුසලානය දිනාගත්තේ පැනල්ටි පහරවල් වලිනි...නමුත් ප්‍රතිමා සෑදුනේ සිනේඩියන් සීඩෑන්ගේය...තරගාවලියේ හොදම ක්‍රිඩකයාට හිමි Golden Ball සම්මානයට නිර්දේශ වී සිටියත් බලධාරීන් එය ඔහුගෙන් උදුරාගත්තේ නැත්තේ ඔහු එදා මෙදා තුර පාපන්දු පිටියේ සිටි අද්වීතීය ක්‍රිඩකයෙකු බව සනාථ කරමිනි...
සිනේඩියන් සීඩෑන් යනු කවරෙක්ද.....?
අටූවා ටීකා අවශ්‍ය නැත... ලෝක ප්‍රසිද්දම දැන්වීම් නිර්මාණය කරන්නෙකු එදා මෙදා තුර පාපන්දු ඉතිහාසයේ පුරාවෘත තුනක් එක පින්තුරයකට ගත් අවස්තාවක එහි වුයේ ප්ලේ මැරඩෝනා හා සීඩෑන් ය.....


ඔහු ලෝක කුසලානයක් අහිමි වුවද තම මවට ගරු කල යුතු බව ලොවටම කියා දුන් සොඳුරු ක්‍රිඩකයෙකි.....

Sunday, August 21, 2016

හද බැඳ ගත් සිංදු 16 රැල්ල....


බ්ලොග් අවකාශයේ මේ දවස් වල යන සිංදු රැල්ල දැක්කහම ඇස් දෙකට කඳුළු එනවා..... ඒ හැම ලිස්ට් එකකම මගේ ප්‍රියතම සිංදු තියෙන හින්දම මගේ ලිස්ට් එක නිකන්ම පොල් රොඩු ගානට වැටෙන එක හින්දයි... කොහොම උනත් ඉයන්ගේ සිතුවිල්ලකට පටන් ගත්ත රැල්ලට සින්බෑඩ් අහු වුනේ සිතුවිලි සිතුගේ චැලෙන්ජ් එකට...ඒත් එක්කම කොළඹ ගමයගේ,හංසිගේ,ගස් ලබ්බගේ, නිදහස් සිතුවිලි, පොකුරු වැහි වගේ අයගේ සිංදු දැක්කහම පුදුමත් හිතුනා කීවොත් බොරුවක් නෙමෙයි... අහල තියෙන විඳලා තියෙන සිංදු දාස් ගානකින් ප්‍රියතම දාසයක් තෝරන එක පට්ටම අමාරු වැඩක්...  ඒත් ප්‍රියතම සින්දුවක් කියන්නේ හැමවෙලාවෙම මුමුණ මුමුණ ඉන්න එකක්වත් ඩොල්කියකට ගිටාර් එකකට ජීවය දෙන එකක්වත් නෙමෙයි මට... අහම්බෙන් හරි ඇහුනොත් මතක සැමරුම් දොරේ ගලන සින්දු කීපයක් ජිවිතෙත් එක්ක බද්ද වෙලා වෙලා තියෙන සිංදු කීපයක් තමයි මගේ ලිස්ට් එකේ තියෙන්නේ... කීප දෙනෙක්ගේ ලිස්ට් වලට අහුවෙලා සින්බෑඩ්ගේ ප්‍රියතම සිංදු අඩුවෙද්දි අන්තිමට ඉතුරු උනේ මේ ටික තමයි...

1. කරුණා සුවඳ තවරාලූ...

නිහාල් නෙල්සන් මහත්තයා ගායනා කරන මේ ගීතය සින්බෑඩ්ගේ ඇස් වලට කඳුළු අරගෙන ආවේ සින්බෑඩ් එක වසරේ ඉද්දි..ඒ සින්බෑඩ්ගේ අම්මා දුර රටකට ගියාට පස්සේ හෝන්තු මාන්තු වෙලා හිටිය පොඩි මෑන් අහම්බෙන් වගේ රේඩියෝවෙන් මේ සිංදුව අහලා සැහෙන්න ඇඬුවා...

"දූවලා ඇවිත් පෙර ලෙස මා..... එක පිම්මේ
 අම්මා කියන්නේ..... කාටද අද අම්මේ......"

මේ පද දෙක ඇහෙද්දි තාමත් සින්බෑඩ්ගේ ඇස් තෙත් වෙනවා පුංචි කාලේ සිහිවෙලා...

video


2. තරු මල් යායම පොඩි කර අහස් ඉමේ....

අජිත් මහත්තයගේ ලිස්ට් එකේ තිබ්බ මේ සිංදුව සින්බෑඩ් ගේ ලිස්ට් එකෙන් කපන්න හිත දුන්නෙම නෑ...ඒ මේ තරම් විරහව වෑහෙන විරහ ගීතයක් තවත් නෑ කියලා සින්බෑඩ් එකෙන්ම කියන හින්දයි.... සිංදුව කොහේදි ඇහුණත් නපුරු ඇස් දෙකක් මතකෙට එනවා...........

"තැවුනේ දැවුනේ පිවිතුරු සිතකින්
එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි "

video

3. ලඹ සවන් රන් පටින්...

මේ ගීතයේ තියෙන අමුතුම රිද්මෙට සින්බෑඩ් පුදුම ආසවක් තියෙන්නේ... නමුත් ඒ රිද්මෙට යටවෙන්නැති ගැඹුරු තෙරුමක් සරලව විඳගන්න පුලුවන් ගීතයක්.....

"කැණි මඩල පලාලා... සුණු විසුනු කලා මැදුරක්
 යලි මැදුර තනාලා.... වෙහෙසුමක් තොපට නැත්තේ...."

video


4. රණ බිම මැරුණේ සිංහලයෙක් නම්....

සින්බෑඩ් ඉතින් NAVY එකේ හිටපු කොල්ලෙක්නේ...රෙක් කුඩ් කාලේ පාන්දර හතරේ ඉඳන් පෙරඩ් ග්‍රවුන්ඩ් යන්න ලෑස්ති වෙලා පට්ට කට්ටක් කාලා අටහාමරට ජාතික ගීය එහෙම කියලා පෙරඩ් එකේ යනකොට පාං කියන්න පණ නෑ... එක එක සරඹ දාගෙන යද්දි පොඩ්ඩක් හරි ගට එන දෙකට තියෙන්නේ බෑන්ඩ් එකෙන් දෙන සප් එක විතරයි... මේ ගීතය බෑන්ඩ් එකෙන් ගහද්දි අම්මපා එනවා ගටක්..........................................  ඒක දන්නේ එක විඳපු එකෙක් විතරයි...ඉතින් මේ සිංදුව කොහෙදි හරි ඇහෙද්දි මතක් වෙන්නෙම පෙරඩ් ග්‍රවුන්ඩ් එකේ කාපු කටු..... ඒවයේ රහ දැන් තමයි තේරෙන්නේ...

"මල් යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ....
කිසිදා නොමියන මල් පුබුදිනවා
විරුවන් මළ රණ බිම මත්තේ......"

video

5. කැමේලියා මල් සුවඳට....

කිසිම හේතුවක් නැතුව මේ ගීතයටනම් හදවතින්ම කැමතියි... කිත්සිරි ජයසේකරයන් ගායනා කරන මේ ගීතයට අකමැති කෙනෙක් නම් හොයාගන්න බැරි වෙයි....ගීතයට අමුණලා තියෙන්නේ කවුරුත් කැමති චිත්‍රපටියක කොටස් ටිකක්.... එකෙන් ගීතයට අමුතුම රසයක් දීලා තියෙයි...

"යන්න ගියේ බිය හිතිලද.... සිඬරෙල්ලා..........."

video


6. පමාවෙලා මුණ ගැහුණු නිසා.....

දමිත් අසංක ගායනා කරන මේ ගීතය ඇහෙද්දිම සින්බෑඩ්ට මතක් වෙන්නේ මේ දවස් වල දත කාගෙන ට්‍රයි කරන ක්‍රෂ් එක.....අනේ මංදා ඉතින් කොලු කාලෙනේ.....

"කවිකාර ඔය නෙතේ
රස හංගලා.......
ඔබ වගේ තවකෙක්
මට නම් එපා...."

video

7. පනා සෙනෙහස....

දුෂ්මන්ත වීරමන්ගේ ආදරණීය කටහඩින් වර්ණ ගැන්වු මේ ගීතය අහනකොටම සින්බෑඩ්ට මතක් වෙන්නේ P3 මැශින් එකක් තියාගෙන මේ සිංදුව ගමටම ඇහෙන්න දාගෙන හිටපු හැටි...........

"සත් පියුමන් මැද නුඹ අඩ සඳකි
ගැස්සෙන නුඹේ ලැම මට මල් දමකි...."

video


8. විකසිත පැතුමන්...

මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරන මේ ගීතය සින්බෑඩ්ගේ හිත ගත්තේ ජනක ක්‍රිෂාන්ත ගායනා කරන හින්දමයි.....

"මා මත් වීලා.................................."

video


9. සඳ කැන් වැසිලා...

කවුරුවත් ලඟ පාත නැති පාලූ රෑක අහන්න ආසම ගීතයක්..... පසුබිම් කතාව නම් නොදන්න කෙනෙක් නැතුව ඇති..........

"මගේ එලිය අද ඔබ පමණී..................................."

video


10. මේ තරම් සියුමැලිද කලුගල්....

රජීව් වසන්ත වෙල්ගම රචිත මෑත කාලයේදි සිංහල ගීතයට උපරිම වටිනාකමක් දුන්න ගීතය මේක තමයි.. සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන මේ සිංදුව සින්බෑඩ් මුලින්ම ඇහුවේ උදාර කියන ගන් බෝට් එකක ඉද්දි... ඒ දවස ජීවිතේ එපාවෙන තරමට කට්ට කාපු දවස්.... ගාල්ලේ නේවි ෆියර් එකට වෙලා මුහුද දිහා බලාගෙන පාන්දර එකට දෙකට ඔහේ මේ සිංදුව අහපු දවස් තිබුනා... දැන් නම් මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවා... ඒ මතකයන් අරං එන මේ සිංදුවට සින්බෑඩ් පුදුම විදිහට කැමතියි....

"රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා......."

video


11. රන් කුරහන් මල සේමා....

භාතිය සංතුශ්ගේ වැඩියෙන්ම සිත් ගත් ගීතය මේක තමයි... ඇහෙනකොටම ගමේ වෙල දිගේ සරුංගලයක් ඇඳන් දුවන කාලේ මතක් වෙනවා...

" ගම්මානේ මා මන බඳිනා................."

video


12. පෙනෙන නොපෙනෙන......

ඒ 2012 දී... අපේ ෆස්ට් සෙමිස්ටර් එකේ අන්තිම... ෆෝන් ඔක්කොම සීනියර්ස්ලා එකතු කරනවා. ඉරිදට විතරයි ෆෝන් යූස් කරන්න දෙන්නේ... ලොකු බෑග් එකකට ෆෝන් ටික එකතු කරගෙන ගියාම මෙස් එකේ කොල්ලෝ ඉන්නේ නිකන් හෝන්තු මාන්තු වෙලා... ගෙදරට කතා කරන්න... කෙල්ලට කතා කරන්න බැරිව දුක් විඳින කොල්ලෝ සෙනසුරාදා රෑට ෆෝන් බෑග් එක අරන් එනකන් ඉන්නේ පුදුම නොඉවසිල්ලකින්....  ඉතින් එදා ෆෝන් එක හම්බවෙච්ච වෙලාවෙම සිම් එක දාන පමාවට කට පාඩම් නම්බෙරේ ඩයල් උනහම මේ සිංදුව තමයි එහා පැත්තෙන් ඇහුනේ....  ඉතින් අදටත් මේ සිංදුව ඇහෙද්දි ඒ කාලේ ෆෝන් එක හම්බෙනකන් බලාගෙන හිටපු හැටි මතක් වෙනවා...

"මිරිඟුවක සිත තියලා...
නුඹ දුරක ඇඳුනා....
රංචු ගැහෙනා රෑනේ...
තනිකමක් දැනුනා..........."


video


13. කොළොම් තොට නැත මහලු වී...

අමරදේව මාස්ටර් ගේ සිංදු වලින් කැමතිම එක.... රම් බෝතලයක් හිස් කරලා ඉන්න කොට බොක්කෙන්ම බෝතලේට තට්ටුවක් දාන ගමන් කියන්න පුලුවන් සිංදුවක්.....

"කුඹ ගසක් උඩ නැවතිලා
සිනා තලමින් සඳේ
ඇයි සරදම්.......
බලං කැඩපත සොඳුරියේ....
කුමන අරුමද
නරකෙසක් පැහිලා......"

video


14. ගිමන් හරින දියඹ දිගේ...

බාචි කියන්නෙත් අමුතුම ආර්ටීස් කෙනෙක්.....අහල බලන්න මේ සිංදුව....

"හිරු රහසේ කියා දුන්න ආදරයද මේ..................."

video



15. අපි කතා නොකර ඉමු.....

ජානක වික්‍රමසිංහ ගායනා කරන මේ ගීතය අහන හැම වෙලේම පේරාදෙණිය මතක් වෙනවා......සුන්දර වගේම අසුන්දරම මතක හිරවෙලා තියෙන්නේ එතන තමයි...

"අපි ළංව බලන් හිඳිනා
එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ.....
මල් පුසුඹ සිඹින්නට...
මා නෙළූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ....."

video

16.  පුදසුනක නිසල බව....

දයාන් විතාරන ගායනා කරන මේ සිංදුව ඇහෙද්දිම සින්බෑඩ් ට ස්කොලේ කැඩෙට් ලයිෆ් එක මතක් වෙන්නේ ප්ලැටුන් එකේ හිටපු ජූනියර් කෙනෙක් ලස්සනට මේ සිංදුව ප්‍රසංගයක කියපූ අපූරුව......

"ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්......................"

video


*** මේ නම් එක සින්දුවක් නෙමෙයි...ඒත් රසවත් සිංදු කීපයක් ජනක ක්‍රිෂාන්ත ගේ හඩින්..... පාලු හුදකලා මොහොතක මේ එකතුව හිතට අගේටම වැදුන හින්දම ලිස්ට් එකට අදාල නැති උනත් මෙතනින් අමුණනවා.....

video

"අහස දම් ඇඳන් එන විට
මහ වැසි එන බව දනිම්......
පොළොව ඉරි තැලී එන විට
ඉඩෝරේ එන බව දනිම්...

ඔබ මුහුණ අඳුරු කරවයි.......................
කුමක් වේද මම නොදනිම්...
සිතා ගන්න මට බැරිවෙයි......"

තව සිංදු බුරුතු පිටින් ඔලුවට එන හින්දා මං ඇත්තටම අකමැතියි මේ චැලෙන්ජ් එක සිංදු දාසයකට සීමා වෙච්ච එක....තෝරගන්න අමාරු උන හැටියට අඩුම 20ක් වත් තිබුනනම් කියලා අන්තිමට හිතුනා...

Tuesday, August 2, 2016

තරු අතර සිතිවිලි....


අහස හොඳටම බලාගන්න පුලුවන් තැන කොතනද කියලා මං හුඟක් කල් ඉඳන් හෙව්වා.... හොයන්නාට හම්බ වේ කියලා කතාවක් තියෙනවනේ...එන්ජින් රූම් එකේ ඩියුටිය ඉවරවෙලා ඩෙක් එකට ආපු ගමන් රත්වෙලා තිබ්බ ඇඟ හීතල කරගෙන හූළඟ ඇඟේ වදිද්දි තමයි ඇඟ කිලිපොලා ගිහින් දෙයියනේ මං මුහුඳ මැද්දේනේ කියලා හිතෙන්නේ.... ඔය වෙලාවට තමයි ගාඩ් ග්‍රිල් එක අල්ලං ක්ෂිතිජය කොතනද කියලා බලන්න හිතේන්නේ. ඒ වෙලාවට රෑද දවල්ද කියලා වෙනසක් නෑ. තමන්ගේම සයිකෝ ලෝකයක තනිවෙන්න හොඳම වෙලාව.
.
යාන්තමට තරු එලියට අඳුරු පැහැ ගත්ත යෝධ රැලි උඩින් යන නැවේ ඉඳගෙන එහෙමත් එක්කෙනෙක් තමයි ඒ ජල කඳට යට තියෙන දේවල් ගැන හිතන්නේ.. මං නම් හුඟ වෙලාවට අහසෙන් ඇස් දෙක ගන්නේ නෑ...ඉස්සරහින් පිටිපස්සෙන් ස්ටාර් බෝඩ් සයිඩ් එකෙන් පෝට් සයිඩ් එකෙන් හැමතැනින්ම කෙලවරට යනකන්ම මුහුඳ විතරයි.ඒත් ඒ හැම දේකටම ඉහලින්.කොයි දේටත් වැඩියෙන් අහසම විතරයි...මං පහන් තරුව හොයන්න පටන් ගත්තා....එතකොටම දන්න කියන තරු රටා කීපයක්ම ෆුල් ෆෙඩප් එකේ මං දිහා බලනවා දැක්කත් මං නොදැක්කා වගේ හිටියා.. හැමදාම අපේ විකාර බල බල අහසේ එල්ලිලා ඉන්න එපා වෙනවත් ඇති.. කම්මැලි කමට උන් එෆ්.බී යන්නයැ....
කොහොම උනත් එක අහසේ හිටියත් තරු අතරෙත් පුදුම විරසකයක් තියෙන්නේ.රුවන් බන්දුජීවගේ කවියක් එක පාරටම ඔලුවට ආවා... හරියටම මතක නොතිබ්බත් මං ඒක මිමිණුවේ තරු වලට ඇහෙන්න....
.
නැවියෙකුට හෝ මගියෙකුට මිස
තමන්ගෙම එකෙකුට
පහන් තරුවක්
මග කියන් නැත ...
.
ගොඩබිම් පැත්ත මං ඉස්සරහින්ම ලාවට අඳුරු තීරුවක් වගේ කෙලවරටම වෙන්න හැංඟිලා...එයිනුත් කෙලවර අකුණු ගහන හැටි පේනවා..ඒ පැත්තට හයියෙන්ම වැස්සත් මං ඉන්න තැනට වැස්සක වගක්වත් නෑ... එතකොට තමයි මේ මුහුද මැද්දේ අපි කොච්චර පොඩිද කියලා කියලා හිතෙන්නේ...ඒ වැහි වළාකුළු උඩින් ඉඳගෙන දිලිසෙන තරු පවා මට පේනවා...එච්චරකට විශාල අවකාශයක හතර දිබ්බාගෙන්ම තියෙන එකම දේ මං ඉන්න නැව විතරයි.................
මේ පල් හැලි කියවලා වැඩක් නෑ...මේ අර අඳින්නේ අහස ගැන උනන්ඳු අයට විශ්ව න්‍යාක විද්‍යාව ගැන සින්බෑඩ් දන්න දේවල් කියලා දෙන්න...ඉතින් සින්බෑඩුත් ලොකු දෙයක් දන්නේ නෑ හැබැයි කොතනින් හරි පටන් ගන්න ඕනේ දැනගන්න...සාමාන්‍යයෙන් නැවියෙක්ට අහස ගැන හොඳ දැනීමක් තියෙනවා කරුමෙට මට ඕක නෑ...ඒත් කියවලා තිබ්බ දේවල් වලින් මවා ගත්ත චිත්‍ර රූපේ හරි ලස්සන හින්දා ටිකක් අකුරු කරන්න හිතුවා..

ඇත්තටම ඒ හුඟක් කාලෙකට ඉස්සර.... හැම දෙයක්ම පටන් ගන්න ඉස්සර... ඔයයි මායි එක තිතක් ඇතුලේ හිරවෙලා හිටිය දවස් වල...පරමාණුවකටත් වඩා කුඩා තිතක් අස්සෙ තමයි ඔයයි මායි අනෙක් හැමෝමයි හිරවෙලා පැක්වෙලා හිටියේ...කොච්චර කල් අපි හිරවෙලා හිටියද,ඊට ඉස්සර මොකද වුනේ මොනවද තිබුනේ කියලා කවුරුත්ම දන්නේ නෑ...ඔය තිතට ආදිකල්පික පරමාණුව (Primeval atom) කියලාත් කියනවා..

හැම දෙයක්ම පටන් ගත්තේ තිත අස්සේ හිර වෙලා ඉඳිම එපා වුණ දවසේ ඉඳන්. හැබැයි ඒ අවුරුදු බිලියන 13.8 කට ඉස්සර... බැංකු ණයක පොලී අනූපාතය වගේ 13.8 ක් කීවට අවුරුදු බිලියන කියපුවම සෙල්ලම්ද... විශ්වය ගැන කතා කරද්දි ලොකුවට හිතන්න ඕනේ... හැබැයි පරමාණුවක් ඇතුලෙත් අපට හිතාගන්න බැරි තරම් විශාල විශ්වයක් තියෙනවා.ඒ වෙලාවට ඉලක්කම් බිංදු නොදැක්කා වගේ ඉන්නේ නැතුව මේවා ගැන හිතුවොත් ඔලුව අවුල් වෙනවා... බිලියනයකට බිංදු කීයද කියලවත් ඔලුවට එන්නේ නැති වෙලාවක් වුනත් මිනිහෙක් ජීවත් වෙන අවු 100 ක් උපරිමයක් එක්ක අවු බිලියන 13.8ක් කියන්නේ කල්පයකට විතර ඉස්සර තමයි....

කල්පයක් කියපුවම බෞද්ධ සාහිත්‍යයේ අර්ත දැක්වීම් කීපයක් තියෙනවා..එතනින් මං කැමතිම එක තමයි දහඅට රියනක් උස දහඅට රියනක් පළල දහඅට රියනක් දිග පෙට්ටගමක් ඇතුලේ කට ගාවට එනකන් අබ ඇට පුරවලා අවුරුද්දට එක ගානේ අබ ඇට අයින් කරපුවම අන්තිම අබ ඇටේ අයින් කරන්න යන කාලය කල්පයකට සමානයි හෝ අඩු වෙන්න පුලුවන් කියලා..එහෙම බලද්දි කීප වාරයක් අපි මේ තිත අස්සේ හිර වෙලා නිදහස් වෙලා අයේ හිර වෙලා ඉන්න ඇති....

හැබැයි ඒ හැම වරකම ඔයා තමයි මගේ ලඟින් ම හිටියේ.මට වැඩිපුරම දැනුනේ.... ඒත් අපි දන්න කියන කාලය හා අවකාශය කියන සංකල්ප දෙක පහළ වෙච්ච මොහොතේ තමයි අවසාන වතාවට මේ තිත පුපුරලා ගියේ.සමහරු කියයි අපි ඔක්කොම එක තිතක හිරකරගෙන ඉඳලා තිතටත් එපා වෙන්න ඇති කියලා.ඒත් අපි දෙන්නා එකට වෙලිලා ඉන්න එක දැකලා කාගේ හරි ඇස්වහක් වැදුනා.... සමහර විට පරීක්ශණ නලයක විශ්වයන් කෝටි ගානක තිත් තියාගෙන අණ්වීක්ශයකින් අපි දිහා බලාගෙන ඉන්න කාගේ හරි වෙන්න ඇති.

ඉතින් හිරවෙලා ඉඳිල්ල එපා වෙච්ච තිත මහ සද්දෙට පුපුරලා විශ්වයක උපත සිද්ද උනා.අපේ පරමාණු ඈතටම විහික් වුණා. හැබැයි නිතර නිතර අන්තර් ආකර්ශණ බල හින්දා ඇති වෙන චලිත උදව් කරගෙන එක ළඟට වෙන්න ඒවා උත්සහ දරන්න ඇති.ඒවා එකිනෙකට හොඳින් අඳුරනවා ඇති අපේ ස්වරූප වෙනස් උනත්... ඒවා එකිනෙකට ආදරේ කරන්න ඇති අපි නොදැණුණා වගේ හිටියත්...ඉස්සරහටත් එහෙම්ම වෙයි.... ඈතට ඈතට ගියපු දේවල් නැවත කවදා හරි තිතක් ඇතුලේ කොටු වෙනවමයි.. එදාට ආයෙත් හුඟ කාලෙකට මඟේ ළඟ ඉන්න පුලුවන් වෙයි...



ඉතින් කාලය කියන එක හටගත්තට පස්සේ හැමදේටම ජීවය ලැබුණා.කාලය තමයි උත්තරීතර. පළවෙනි මිලි තත්පරය විශ්වය තුල හට ගද්දිම කුඩා තිතක් වෙලා තිබ්බ විශ්වය අනන්ත අපරිමාණ විශාලත්වයකින් යුක්ත වෙන්න අරමුණක පැටලිලා කෙලවරක් දකින්න බැරි උනත් තවත් ප්‍රාසාරණය වෙනවා...අන්තර් අවකාශය වැඩි කරගන්නවා... හරියට ලංකාවේ මන්ත්‍රී ගොල්ල සල්ලි හම්බකරනවා වගේ..



එච්චරකට විශාලත්වයක් එක තිතක් තුල පුපුරා යාම මොනතරම් පුදුම සහගත දේවල් වල ආරම්භයක්ද කියලා ලාවට වගේ තේරිලා ආපු හින්ද අපේ මිනිස්සු මේ පිපිරීමට Big Bang කීවාද......? නෑ......මේ මතය ගෙන ආපු මිනිහට මඩ පාරක් ගහන්න තමයි සමහරු මේ තියරියට සමච්චලේට තමයි මහ පිපුරූම් වාදය කීවේ... කොහොම උනත් දැන් හැමදෙයක්ම තහවුරු කරගන්න අලුත් දේවල් හොයාගන්න මුලින්ම අඩිතාලම වෙච්ච කල්පිතය ජෝජ්ස් ලෙමාටර්ගේ මහ පිපුරුම් වාදය කියලා රන් අකුරෙන් ලියවිලා ඉවරයි... අර වතුර ජෝග්ගුව වගේ රූප සටහනේ ඇඟිල්ල තිය තිය බල රේඛා ලකුණු කර කර විස්තර කරන්න මට ඕනේ නෑ..මේ පොඩි කියවිල්ලක් විතරයි...

කොහොම උනත් අපේ පරමාණූ සී සීකඩ විසිකරපු බිග් බෑන්ග් එකෙන් ඉපදුනේ කාරණා 2 යි..

1. කාලය.

2. අවකාශය

කාලය කිසිම දෙයකින් යුක්ත වෙලා තිබුනේ නෑ.. පිරිලා තිබුනේ නෑ .හැබැයි තත්පර වලින් පිරෙන්න ගත්තා.. කාලය කියන්නේ හැමදේම. දෙවියන් කියලා කෙනෙක් ඉන්නවනම් ඒ තමයි කාලය.කාලය නිරපේක්ෂයි කියලා සම්මතයක් තිබුනත් අපි හැමෝම කාලය සාපේක්ශ කරගෙන වැඩ ටික කරගන්නවා...කාලය ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා.. නිව්ටෝනියානු කාලයේ ඉඳලා විශ්ව කාලීය කැලන්ඩරය... කාල නැම්ම...කාල ශෝධනය...කාල ප්‍රතිවර්තක..කාල තරණය..කලු කුහර...වගේ ලොකු කතා ගොඩාක් තියෙන හින්දා අපි අවකාශය ගැන මුලින්ම කතා කරලා ඉමු... ඇයි ඒක ටිකක් ලේසියෙන් කියන්න පුලුවන් දෙයක් හින්දා කාලයට සාපේක්ෂව..


ආදිකල්පික පරමාණූව නැත්තන් ඒ පුන්චි තිත අස්සේ තිබ්බ අවකාශය තමයි පුපුරලා ගියේ..ඒ අවකාශය අන්තරීක්ෂය ගින්නේන් දැවුණා විශ්වයේ ප්‍රසාරණය පටන්ගනිමින්....අපි දන්න සියලූම ශක්තීන්ට හා අපි අද දන්න කියන හැම දේටම උපත දෙමින්... ප්‍රසාරණයත් එක්කම විශ්වය සිසිල් වෙන්න පටන් ගත්තා...මුල්ම අවුරුදු මිලියන 200 ක් පහුවෙනකන්ම මේ අවකාශය පිරිලා තිබුනේ සියුම් සුදු පැහැති මීදුම් වලාවකින්...හයිඩ්‍රජන් ප්ලාස්මාවකින්.... අවකාශය සුදු පැහැති මීදුමකින් වෙලි තිබුනත් මේ කාල සීමාව විශ්වයේ අඳුරුම කාල සීමාව කියලයි හඳුන්වන්නේ....මේ අවුරුදු මිලියන 200 ඇතුලේදි ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන එකතු වෙලා උදාසීන අංශු වන නියුට්‍රෝන සාදමින් වායු අංශු සෑදිමත් සමගම ගුරුත්වාකර්ශනය හා අන්තර් ආකර්ශණ බල උපයෝගී කරගෙන එකතු වු රත් වු වායු අංශු මඟින් විශ්වයේ මුල්ම තරුකා බිහිවුණා... ඒ තරුකා වල එකතුවීමෙන් මන්දාකිණි සෑදුණා...අපි දන්න කියන විශ්වය හටගත්තා... අපි ත් හැදිලා ඉන්නේ තරුකා වල අළු මතින් වගේම අපේ අළු මතින් කවදාහරි තරු බිහිවෙයි...... අනන්ත අප්‍රමාණ තරු තියන අවකාශයක් ගැන කතා කරද්දි විශ්ව න්‍යාක විද්‍යාවේ උපත ගැන කතා කරන්නේ නැතුව කොහොමද...?

විශ්ව න්‍යාක විද්‍යාව කියන්නේ මේ දේවල් ගැන බැරෑරුම්ව කතාකිරීම. විශ්ව න්‍යාක විද්‍යාව ආරම්භ වෙන්නේ එක සරල ප්‍රශ්නයකින්....ඒ තමයි 
"ඇයි රාත්‍රී අහස මෙතරම් අඳුරු.....?"
කොහොම හරි ඒ ගැන මුහුණු පොතේම පළවෙච්ච රසවත් ලිපියක් මෙතන අමුණලා මං අදට මාරුවෙන්න යන්නේ.....කැමති අය කියවන්න...

ඊළඟදවසේ අනන්ත විශ්වයක් ගැන මුලින්ම ලෝකෙට කියලා අවුරුදු ගානක් හිරබත් කාලා ගිනි තියලා මැරුව ජෝර්දානෝ බෘනෝ ගැන කියන්නයි හිතාගෙන ඉන්නේ.

සේල්රුවා.
*****************************


"ඇයි රාත්‍රී අහස මෙතරම් අඳුරු.....?"

උපුටාගැනීම Fans of Astronomy
විශ්ව න්‍යාය විද්‍යාව( Cosmology)
.
විශ්ව න්‍යාය විද්‍යාව යනු විශ්වයේ ස්වභාවය, එහි හැඩය, ව්‍යුහය හා පැවත්ම යනාදී කරුණු සම්බන්ධයෙන් අධ්‍යයන කෙරෙන්නා වූ භෞතික විද්‍යාත්මක න්‍යායන් මත පදනම් වූ විෂයකි.නමුත් විශ්ව න්‍යාය විද්‍යාව ඇරඹෙන්නේ බැලූ බැල්මට නොවැදගත් යයි හැඟෙන්නා වූ එක් කුඩා පැනයකිනි. ක්‍රි.ව 1610 දී පමණ ජොහැන්ස් කෙප්ලර්ගේ අවධානයට යොමු වුනු මෙම ප්‍රශ්නය වඩාත් සාකච්ඡාවට බඳුන් කරනු ලැබුවේ ජර්මානු ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ හෙන් රිච් ඔල්බර්ස් විසිනි. එම පැනය " රාත්‍රී අහස අඳුරු ඇයි?" යන්නයි.

ඔල්බර්ස් විසින් විශ්වය විග්‍රහ කරනු ලැබුවේ අහඹු ලෙසින් තාරකා විසිරී පවත්නා පරිමිත (finite) අවකාශයක් ලෙසිනි. නිව්ටන් විසින් සිය ගුරුත්වාකර්ෂණ නියමය යොදා ගනිමින් තාරකා අතර පවත්නා ගුරුත්වාකර්ෂණ බලයක් හේතු කොටගෙන කාලයත් සමඟ තාරකා සියල්ලම එකිනෙක මත වැටී එකම පදාර්ථ කොටසක් බවට පත්විය යුතු බව පෙන්වා දුන්නේය. නමුත් මෙය කිසිසේත් සිදු විය නොහැකිය. එබැවින් විශ්වය ස්ථිරවම පවත්නා අනන්ත ලෙස පැතිරුණු තාරකා වලින් සමන්විත විය යුතු යැයි නිව්ටන් යෝජනා කළේය. එසේ වීමට නම් විශ්වයේ පවතින තාරකා ඉතා පැරණි විය යුතු අතර ඒවා කැපී පෙනෙන වෙනස් කම් වලට බඳුන් නොවී දීර්ඝ කාලයක් පැවතිය යුතුය. නමුත් මෙබඳු ස්ථිර, අනන්ත විශ්වයක් පිළිබඳ සංකල්පය එක්තරා ප්‍රබල ගැටළුවක් මතු කරන බව ඔල්බර්ස් නිරීක්ෂණය කළේය.

තාරකා විසිරුණු අවකාශය අනන්ත ලෙස පැතිර තිබේනම් අපගේ ඇසට පෙනෙන සෑම ලක්ෂ්‍යක්ම අවසානයේ යම්කිසි තාරකාවක් කරා යොමු විය යුතුය. එනම් කුමන දිශාවකින් රාත්‍රී අහස දෙස බැලුවද අපට තාරකාවක් දිස් විය යුතුය. එසේ නම් රාත්‍රී අහස ද සූර්යයා හෝ පෘථිවිය මෙන් බබලන එකම ආලෝකයක් ලෙසින් දිස් විය යුතුය. නමුත් ගැටළුව නම් රාත්‍රී අහස සැබවින්ම අඳුරු වීමයි. මෙම ගැටළුව ඔල්බර්ස්ගේ විසංවාදය (Olber's paradox) ලෙසින් හැඳින්වේ.

ඔල්බර්ස් ගේ විසංවාදය අනුව නිව්ටන් විසින් විස්තර කරණු ලැබූ පරිදි විශ්වය ස්ථිර, අවකාශයක් විය නොහැකිය. අපට නිව්ටෝනීය විශ්වය තලයක නිරූපනය කළ හැක. ( පෘථිවිය ත්‍රිමාන වස්තුවක් වුවද ලෝක සිතියමක් කඩදාසියක නිරූපනය කළ හැක.) මෙම ආකෘතිය නිව්ටෝනීය කාලය සමඟ සැසඳේ. නිව්ටෝනියානු කාලය නිරපේක්ෂය. විශ්වයේ කවර ස්ථානයක් වුවද කාලය ගතවන්නේ එකම වේගයකිනි.නමුත් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයට අනුව විශ්වයේ සෑම ස්ථානයකම කාලය ගත වන්නේ එකම වේගයකින් නොවේ. එය නිරීක්ෂකයා මතත්, චලිත ස්වභාවය මතත් රඳා පවතී. සාපේක්ෂතාවාදය අනුව ගුරුත්වාකර්ෂණය නිසා කාලය හා අවකාශය නැමීමකට ලක්වේ. ඒ අනුව අප විශ්වය නිරූපණය කිරීමට යොදා ගන්නා තලයේ ඇතැම් ස්ථාන වල නැමීම් සහ කඩතොළු වීම් ඇති වේ.

1915 දී අයින්ස්ටයින් සිය සාමාන්‍ය සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරන තෙක් විශ්වය සැලකුනේ නිව්ටන් ප්‍රකාශ කළ පරිදි ස්තිථික, පරිමිත අවකාශයක් ලෙසිනි. සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ ගණනය කිරීම් වලට අනුව විශ්වය ප්‍රසාරණය වෙමින් හෝ සංකෝචනය වෙමින් පැවතිය යුතු බව පෙන්නුම් කෙරුණ ද ඒ වන විට ස්තිථික විශ්වය පිළිබඳ සංකල්පය තරයේ විශ්වාස කරමින් සිටි අයින්ස්ටයින් සිය සමීකරණ වලට විශ්ව නියතය(Cosmological constant)[Ω] එක් කරමින් විශ්ව ස්තිථික අවකාශයක් බව දැක්වෙන පරිද්දෙන් එම සමීකරණ නැවත සකස් කළේය.විශ්ව නියතය මගින් දැක්වෙනුයේ විශ්වය ප්‍රසාරණය වීම සඳහා අවශ්‍ය වන්නා වූ පීඩනයයි. අයිස්ටයින්ගේ අදහස වූයේ එම පීඩනය ගුරුත්වාකර්ෂණ බලයන්ට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරමින් විශ්වය සංකෝචනය වීමට ඉඩ නොදී ස්ථායිව පවත්වාගෙන සිටින බවයි. මෙම සංකල්පමය අදහස හැරුණුකොට යන්නට වෙනත් කිසිදු භෞතික විද්‍යාත්මක පදනමක් නැත. නමුත් අයින්ස්ටයින්ගේ මෙම විශ්වාසය ඔහුට නව සොයා ගැනීමක් කිරීමට තිබූ අවස්ථාව අහිමි කරන ලදී.එම විශ්වාසය නොවන්නට විශ්වය ප්‍රසාරණය වෙමින් පවතින බව මුලින්ම ප්‍රකාශ කිරීමට අයින්ස්ටයින්ට හැකියාව තිබුණි. ඉන් ටික කාලයකට පසුව එඩ්වින් හබල් විසින් විශ්ව ප්‍රකාශන සංකල්පය ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම "විශ්ව නියතය" තම ජීවිතයේ ඉතා විශාලම වැරදීමක් බව අයින්ස්ටයින් විසින් පිළිගන්නා ලදී.

ඔල්බර්ස්ගේ විසංවාදය සඳහා විවිධ පැහැදිලි කිරීම් මුලදී ඉදිරිපත් වුනි. තරු අතර පවතින දුවිලි මෙයට හේතු විය හැකි බව ප්‍රකාශ විය. නමුත් මෙය අසත්‍යයකි. එම වායු සහ දූවිලි අයණීකරණය වී නැවතත් ශක්තිය විමෝචනය කරන නිසා මෙය පිළිගත නොහැකිය. එසේම තරු වලට ඇති දුර වැඩිවත්ම එයින් ලැබෙන ආලෝකයේ තීව්‍රතාවය 1/r^2 කින් අඩු වන නිසා මෙසේ දිස්වන බව සමහරෙකුට සිතුනත් දුර වැඩිවත්ම අපට පෙනෙන අහස් ගෝලයේ වර්ගඵලය r^2 ගුණයකින් වැඩි වන නිසා එමගින් මෙම පැනයට කිසිදු පිළිතුරක් ලබා නොදෙයි.

අවසානයේ ඔල්බර්ස්ගේ විසංවාදය එනම් "රාත්‍රී අහස අඳුරු ඇයි" යන පැනයට පිළිතුර නම්

01. අප ජීවත්වන්නේ ප්‍රසාරණය වන විශ්වයක බවයි. එනම් විශ්වය ස්ථිතික නොවේ.මෙනිසා ඩොප්ලර් ආචරණය මගින් ඈත පිහිටි තාරකා වල ආලෝකය දිගු තරංග ආයාම දෙසට නැඹුරු වන අතර එම නිසා පෘථිවියට ලඟා වන විට එහි තරංග ආයාමය වර්ණාවලියේ දෘෂ්‍ය ප්‍රදේශයේ නොපිහිටයි.

02. අප විශ්වය යම් කිසි කාලයකට පෙර ආරම්භ වී ඇත. එනම් පෘථිවියේ වයසට වඩා ආලෝක වර්ෂ ගණනක් දුරින් පිහිටි තාරකා වලින් තවමත් ආලෝකය ලැබී නොමැත. එනම් අපට පෙනෙන විශ්වය නැතහොත් නිරීක්ෂණාත්මක විශ්වය පරිමිත බවයි. නමුත් විශ්වය තවමත් අපරිමිත විය හැකිය. නිරීක්ෂණාත්මක විශ්වයේ සීමාව cosmic particle horizon ලෙස හැඳින්වේ.

විශ්වය පිළිබඳ ආකෘති තැනීමේදී කරනු ලබන ප්‍රධාන උපකල්පන

♣ සර්ව දිශ්‍ය (Isotropic)
♣ සමජාතීය (homogeneuos)
♣ විශ්වීය (Universality)

• සර්ව දිශ්‍ය (Isotropic)

විශාල පරිමාණ වලදී විශ්වය සෑම දිශාවකින්ම එකම ආකාරයකින් දිස් වේ.

• සමජාතීය (homogeneuos)

විශාල පරිමාණ වලදී විශ්වයේ සෑම තැනම එකම භෞතික ලක්ෂණ ඇත.

• විශ්වීය (Universality)

භෞතික විද්‍යාත්මක නියම විශ්වයේ සෑම තැනකටම සත්‍ය වේ.


************************************************

මරීනයි මායි...

මරීනයි මායි...