Sunday, April 24, 2016

දූපත...

මුලින්ම දැනුන සුළං පාර මාව හිරිවැට්ටුවා.....
මොහොතක් නතරවෙච්චි මං ඇස් ගෙඩි දෙක කරකවලා එක බැල්මට මුලු වෙරළ දිහාම බැලුවා... කවුරුත්ම නෑ... පට්ටම පාලුයි... මං වැල්ලේ ඉඳගත්තා..සපත්තු දෙක ගැලෙව්වා.. මේස් දෙකත් ගලවලා සපත්තු අස්සේම ඔබලා හිරිවැටිලා තිබුන ඇඟිලි තුඩු වලින් වැල්ල පෑගුවා...මාපට ඇඟිලි දෙකෙන් බිම හෑරුවා.....
තාමත් මං දෙගිඩියාවෙන්...
ඉර අව්ව සැර නෑ... ගෙවල් පැත්තෙ නම් මේ අව්වට කියන්නේ රාස්සිගේ අව්ව කියලා...මේ පැත්තෙනම් මොකක් කියනවද දන්නේ නෑ... හැබැයි මේ වෙරළ නුපුරුදු තැනක් නම් නෙවෙයි...කී වාරයක්නම් මෙතන ඇන තියාන ඈත තියෙන දුපත දිහා බලන් ඉන්න එන්න ඇතිද...?
මම ටී ෂර්ට් එක ගැලෙව්වා ඒ අතරවාරේ ඔහේ වැනි වැනි තිබ්බ ඩෝග් ටැග් එකත් මාලෙත් එක්කම ගලවලා අරන් ටී ෂර්ට් එකත් එක්කම වැල්ල උඩටම විසිකරලා දැම්මා... පුලුවන් තරම් දුරට එක්කං ආපු රැල්ල වෙරලේ අතහැරලා දාපු ලුණුරස සුළඟ සීතලටම නැතත් මගේ හිරිගඩු පිපිලා තිබ්බ ඇගේ හැප්පිලා මාව බය කරන්නද මංදා හැදුවා... කොච්චර හිත හදාගෙන ආවත් හැමදාම මෙතනදි මගේ හිත වෙනස් වෙනවා...
ලොකු හුස්මක් අරගත්ත මම ඈත පෙනෙන දූපත දිහා බලලා තත්පරයක් දෙකක් ක්ෂය කරලා දැම්ම.....
"අද නම් මේක ඉවරයක් කරනවමයි...."
මම මටම කෙඳිරුවා.. නැගිටලා රැල්ල දිහාට පියවර මෑනුවා....
නිරුවත් දෙපා වල වැදිලා පෙණපිඩු විහික් වෙද්දි සීතලට දැනුනත් මං දන්නවා තව ටිකකින් වතුරේ උණුහුම මාව වැළඳ ගන්නවා කියලා... මම තව ටිකක් ඉස්සරහට පය ගෑටුවේ පොඩ්ඩක් අමාරුවෙන්... දැන් දණහිස ගාවට වතුර තිබුනත් රැළි වලට සරුවාංගේම තෙමිලා... මහා හිස් බවක් මාව වෙලාගත්තේ හරියට පාලු වෙරළම වගේ... අහසේ උනත් බස්නාහිරක් පෙනුනේ නෑ... වක ගැහිච්ච වෙරළට බස්නාහිර අහස මුවා වෙලා....ඉස්සරහින් උනත් ක්ෂිතිජයක් පෙනුන් නැත්තේ මගේ මුලු ලෝකෙම අර හුදකලා දූපතෙන් ගිණිකන වැටිලා තිබුන හින්දා වෙන්නැති...
මුලින්ම මාව රිදවලා අධෛර්‍යමත් කරපු සීතල දැං නෑ... දැන් යාන්තමට පය වදින සීමාවේ මන් ඉන්නේ...
එකපාරටම මට මතක් උනා ගිලිලා නැතිවෙච්චි මගේ හොදම යලුවෙක්ව.. හීනෙන්වත් හිතපු නැති විදිහට ඒ දේ උනේ.... ඇත්තටම මිනිහෙක්ට මැරෙන්න හොදම නැති විදිහ මේක වෙන්නැති.... වතුර පෙවිලා ...පෙණහලු වල පිරිලා... හුස්ම ගන්න බැරිව දඟලන නාඳුනන රූපයක් මගේ ඔලුවට ආපු හින්දා මම යාන්තමට පය ගහන්න පුලුවන් තැනම නැවතුනා....ඊලඟට ආපු ලොකු රැලි දෙක තුනත් එක්කම උඩ පාත ගිය මං ආයේත් පොඩ්ඩක් පිටිපස්සට ආවේ ඒ රැලි වලට පින් සිද්දවෙන්න....
රැල්ල බලන්නෙම ආපහු මාව හරවලා යවන්න.... පොරිසාද හිත ඉතින් කවුරුත් කියන එක අහන් නෑනේ... ඊලඟට මට මතක් උනේ මම එකපාරක් ගිලෙන්න ගිය හැටි.. ගමේ ඇලේ පැනලා අතපය ගහලා එහා ඉවුරට පැනගත්තට මට ප්‍රෝෆිශනල් මට්ටමේ ස්විමින් බැරි හින්දයි ඒ ඇබැද්දිය උනේ... වතුරට පනිනකොට මීටර් කීයක් පීනනවද කියලා හිතාගෙන පනින මම ඊට වඩා එක මීටරයක්වත් පීනන්නේ නෑ... දවසක් එහෙම කරන්න ගිහින් හුස්ම හිරවුනා... පීනන එක පැත්තක දාලා අතපය ගසා දාලා කෑ ගහනකොට වතුර කාරිය පෙවිලා මාව යට යන්න ගත්තා.... අන්තීම වීරියත් දාලා උඩ ආපු මං යාන්තමට දැක්ක මාව බේරගන්න කෙනෙක් වතුරට පනිනවා...
ඕනෑම වෙලාවක ඇස් දෙක වහපු ගමන් ඒ මොහොත මට මතක් කර ගන්න පුලුවන්...
නිල්පාට වතුර මැද්දේ මගේ අත පය එහා මෙහා උනේ හරීම හිමිට ... මුලු ලෝකේම ස්ලෝමෝෂන් වෙලා... කටින් එලියට පැනපු හුලං බෝලයක් නිල්පාට වතුරේ කොලපාටට මට පෙනුනා... ඒ බෝලේ පැත්තකට ඉර එලිය වැටිලා දිලිසුනා... ඇස් අගිස්සෙන් ඒ බෝලේ පාවෙලා ගියේ හරිම හිමිට... සෙන්ටිමීටරයික් එහා මෙහා වෙන්න පැයක් විතර ගියා... ඒ හැම තත්පරේම මගේ පපුව පුපුරන්න වගේ වේදනාවක් හුස්ම ගන්න බැරිව මට දැනුනේ... හැබැයි මට කව්දෝ කොඳුරනවා ඇහුනා...උඹ මැරෙන්නේ නෑ...උඹව බේරගනියි.... බේරගනියි...කියලා..... ඒ සද්දෙම එකදිගට දෝංකාර දෙද්දි කල්පෙකට විතර පස්සේ මාව වතුරෙන් ගොඩට් ඇදලා ගත්තා... නාහෙන් කටින් වතුර දාගෙන අමාරුවෙන් ජීවත් වෙන්න හුස්ම අල්ලන කොට මෙච්චර වෙලා ඉබි ගමනින් ගියපු තත්පරේ පුරුදු වේගෙට ආපු විත්තිය මට දැනුනා....
ඉතින් මං ඒ සිහිකල්පනාවෙන් මිදිලා පියවි ලෝකෙට ඇවිත් හොද ගැම්මක් අරගෙන ඊලඟට ආපු රැල්ල යටින් ගැඹුරු මුහුදට රිංගුවා...කකුල දෙපාරක් විතර ගහද්දි රිද්මෙකට වගේ ආවත් තාමත් හොල්මන් කරන්නේ මං මැරෙන්න ගියපු තත්පර දෙක තුන.... මගේ මේ වෑයම මැරෙන්න නෙමෙයි ජීවත් වෙන්න...මං එක පිට එක එන රැලි අතරින් ඉස්සරහින් පේන දුපත දිහාට පීනුවා... තාමත් හිතේ දෙගිඩියාව...
"මට ඒ දූපතටම පීනන්න පුලුවන් වෙයිද...?"
"හතිය අල්ලයිද...?"
මගේ අරමුණ අර දුපතට පය ගහන් එක.....
"මට හොදටම පීනන්න පුලුවන්ද....?" ....ඔව් ඒත්....මට හතිය තියනවා.....හරියට හුස්ම අල්ලං පීනුවේ නැත්තං මට හතිය වැඩිවෙනවා...එතකොට ඉතින් ඩේවි ජෝන්ස් ගේ ලොකර් එකේ තමයි සදාකාලිකව සැතපෙන්න වෙන්නේ...
"ඉතින් හතිය තියාගෙන උඹ පීනන්නේ....?" හතියට තියෙන හොදම බෙහෙත තමයි ස්විමින්...
"එහෙම කියලා මේ පාලු වෙරලේ ඇයි අර දුපතටම උඹ පීනන්නේ...?" ඒකට හේතුව නම් මම දන්නේ නෑ ..ඒත් මේ වෙරළට ආපු මුල් දවසේ ඉඳන් මගේ හීනයක් උනා ඔය දුපතට පීනන එක...
"ඉතින් ඒ වගේ හිතලුවක් හින්දා ඇයි ජීවිතේ අවදානමේ දා ගන්නේ...?" ...ජීවත් වෙනවා කියන්නේ ඒකට වෙන්න ඇති....
"අනේ බං උඹත් මල විකාර...."
හිත අස්සේ හිත් දෙකක් ප්‍රශ්න උත්තර යුද්දෙක... මං හිමි හිමීට ඉස්සරහට් පීනනවා....ඉස්සරහට යන්න යන්න රැලි වලින් පිටිපස්සට අදින එක අඩු වෙනවා.... ඒත් තාම රිද්මයක් තියාගන්න තරම් ඉස්පාසුවක් මුහුද මට දෙන්නේ නෑ.... පපුව ටික ටික බරවෙනවා මට තේරෙනවා... ටිකක් නැවතිලා ලොකු හුස්මක් ගන්නම තමයි හිත කියන්නේ... ඒත් එහෙම කර ගමන් හතිය අල්ලනවා කියලා මම අත්දැකිමේන් දන්නවා....තාම පටන් ගත්තා විතරයි තව කොච්චර දුර යන්න තියේද.....? ආපහු හැරියං....ආපහු හැරියං....උඹට මේක කරගන්න බැරි වෙයි.... කව්දෝ කනටම කොඳුරනවා..එහෙම වෙයිද....? මටත් හිතෙනවා.... නෑ තාම පටන් ගත්තා විතරනේ.... බාගයක් පීනලා බෑයි කියලා හිතුනොත් ආපහු හැරෙනවා....මං හිත රවට්ටගත්තා.... අතපය යාන්ත්‍රිකව වැඩ කරන්න දාලා මං හුස්ම ගන්න එක ගැන විතරක් හිතුවා.....
හුස්ම ගත්තා....... හුස්ම පිටකරා.....හුස්ම ගත්තා....... හුස්ම පිටකරා....හුස්ම ගත්තා....... හුස්ම පිටකරා....හුස්ම ගත්තා....... හුස්ම පිටකරා....
මේකත් එක්තරා භාවනාවක් වගේ ... මට හිතුනා...අයාලේ දුවන හිත එක තැනක නවත්ත ගත්තනන් ...මේ හුස්ම ගන්න එක ගැනම හිතුවනං...දූපතට යන එක මහ කජ්ජක් නෙමෙයි....
දැන්නම් සෑහෙන දුරක් පීනලා ... මං හීමිට ඔලුව හරවලා බැලුවා ආපු වෙරළ දුර ඈත ඉදන් මට අත වනනවා... එක පාරටම මට ආපහු හැරෙන්න හිතුනා...
"දැං ඇති පිස්සු නැටුවා....ඇඟපතේ පණ තියෙන වෙලාවේ ආපහු පලයං..."
අර කටහඩ ආයෙමත් කෙඳිරුවා.... ඒ හින්දම මට තරහත් ගියා... මෙතන ඉදන් දෙපැත්තටම එකම දුරනම් ඇයි ආපහු හැරෙන්නේ... දුපතටම පීනනවනේ...නොසන්ඩාල හිතම එහෙම කියද්දි පොඩි ගැම්මකුත් ආවා... ඒ අතරවාරේ රිද්මේ වෙනස් වුන හින්දා පොඩ්ඩක් කලබල වෙලා වතුර ගොඩකුත් ගිලුනා.... ලුණු රස සැරේට දැනුනේ නෑ...හැබැයි බඩේ අන්තිම කෙලවරටම ඒ වතුර ඩිංග යනවානම් හොදටම දැනුනා...හරිම අමාරුවෙන් මං සංසුන් උනා.... අයේමත් කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව පීනන්න පටන් ගත්තා........
ටික ටික දුපත ලං වෙනවා වගේ දැනෙද්දි ෆිට් එකක් ඇඟට ආවා.....
උරහිස් කකුල් එහෙම ටික ටික ස්ලෝ වෙනවා කියලා මට දැනුනේ මුලු දුරෙන් තුන් කාලක්ම ඉවර කරලා තියෙද්දි....
ඊට පස්සේ මට මහ අමුතු කල්පනාවක් ආවා....
හදිස්සියේ මං දැන් ගිලිලා මැරුනොත්.....හපොයි.... මිනිහෙක් මැරුනට පස්සේ හදවත ලේ පොම්ප කරන් එක නැවැතුවහම මොලේ මැරෙන්න විනාඩි අටක් යනවා කියලා කවුරුහරි කීයලා තිබ්බා මතකෙට ආවා...ඒ විනාඩි අටට ස්නයු වලින් දෙන සියලුම සංවේදන මොලේට දැනෙනවලු.... තත්පරයක් කල්පයක් වගේ වෙන විනාඩි අටට මිනිහෙක් මැරිලත් කල්ප ගානක දුක් විදිනවා ඇති නේද.....? එකපාරටම මැරෙන්න වෙන කවදාටවත් නැති බයක් හිතට ආවා.... දැම්ම නම් මැරෙන්න බෑ...මට හිතුනා... ඔය ටිකට මේ වෙනකන් ලස්සනට වැඩ කරපු අතපය පිස්සුවෙන් වගේ දඟලන්න ගත්තා... පපුවත් රිදෙන්න ගත්තා.... හුස්ම අල්ලං ඉන්නද පිටකරන්නද ...ඇතුලට ගන්නද මොකක් කරන්න ඕනෙද කියලා පැටලුනා... හිත සී සීකඩ වෙච්චි අහසක් වගේ උනා.... මුලු ලෝකෙම අන්ධකාර වෙලා මුහුදු පතුලෙන් මාව අදිනවා වගේ දැනුනා....
මං ගිලෙන්න යන්නේ.... මං ගිලෙන්න යන්නේ... අදනම් මාව බේරගන්න කවුරුත් නෑ කියලා හිතෙද්දිම ... පිස්සුවෙන් වගේ දඟලනකොටම... රතුපාට වෙලා තිබ්බ අහස කෙලවර විශාලෙට මං හැමදාමත් බලං හිටපු දුපත මගේ දෘෂ්ටිවිතානයට අහුවුනා... මහ ගුප්ත නිහඩියාවක් එතන තිබ්බේ...මගේ අරමුණ ඒ දුපතට පය ගහන එක.... මහ අමුතු හැඟිමක් එක්ක පුදුම ශක්තියක් ඇඟට ආවා.... හිරකරගෙන හිටපු හුස්ම පොද මං වේගෙන් මුහුදටම දමලා ගැහුවා... අත් දෙකෙන් වැර යොදලා උඩට ඇවිත් පපුව පුරා හුස්මක් ගත්ත මං ආයෙමත් අත පය ඉදිරියට ගැහුවේ මං මැරෙනවනම් තව එක අඩියක් හරි ඒ දූපතට ලං වෙලා තමයි මැරෙන්නේ කියලා හිතාගෙන.... සීතල කපාගෙන ඒ හැඟිම ඇඟ පුරා ඔඩු දිව්වා...... එතකොටම මහ අමුතු දෙයක් සිද්ද උනා.....
යෝද රැල්ලක් මාව ඉහලටම අරගත්තා.... ඒ රැල්ලේත් ගමනාන්තය උනේ ඒ වෙරළම තමයි.... එකපාරටම පුංචි ගල් පර දෙක තුනක යාන්තමට කකුල වදින හැටි දැනුනත් මං පීනන එක නතර කලේ නෑ..... අන්තිමට මට උදව් කලේ පුන්චි පුන්චි වෙච්ච මුහුදු රැලි..... ඒවා මාව නිකන්ම මේ වෙරළට කැන්දන් ආවා...මේ රැළිම අර වෙරළේදි මගේ ගමන වලක්වන්න හදපු හැටි මට මතක් නොවුනා නෙමෙයි.... ඒත් ඒ රැලි වල හැටිනේ... ඉතින් මං ඒවට හිතෙන් පින් දුන්නා...
යානතමට පය ගහගෙන වතුරෙන් ගොඩට එද්දි මම එහෙට මෙහෙට විසිවුනා... වැටෙන්නත් ගියා.... මහන්සියටද...? නෑ සන්තෝසෙට... මට නිදහසේ හුස්මක් ගන්න පුලුවන්....
එහා වෙරළේ වගේ නෙමෙයි මේ වෙරළ හැදිලා තිබුනේ පුන්චි පුන්චි රවුම් ගල් වලින්... පුදුම ලස්සනක් තිබුනත් ඒවා උඩ වැතිරෙද්දි අමුතු අපහසුවක් දැනුනේ... හීනි වැල්ලක සුවදායක බව තිබුනේ නෑ.... මං ඔහේ කැරලි ගැහිලා තිබුන රතුපාට වලාකුළු දිහා බලාගෙන මහ හයියෙන් හුස්ම ගත්තා... හිතපු තරම් හතියක් තිබුනේ නෑ...
මං එකපාරම නැගිට්ටා...වෙරළ කෙලවර තිබුන පඳුරු යාය අතරින් අන්ධකාරය එබිලා බලනවා... තව ටිකකින් ගිලුනු ඉර අන්තිම කිරණත් අරන් යයි.... ඒත් ඈත අර වෙරළ කෙලවර ඇන තියාන මමම බලන් ඉන්න හැටි මට දබර කරන රැලි අතරින් මවාගත්තා.... කොච්චර සැක සංකා තියාගෙනද මීට පැය දෙකකට ඉස්සර මං එතන හිටියේ.... ඇග පත හීතල කරලා ගැහෙන්න ගත්තේ අඳුර ගෙනාපු සීතල සුළඟට...ඒත් ඒකට මගේ හිතේ උණුහුමත් එක්ක හැරෙන්නවත් බෑ... ඒත ඒ හුළඟ මට එක දෙයක් මතක් කරා.... ඒ ආවා වගේම දුරක් යන්න තියෙනවා කියන එකයි... ඒත් පොඩ්ඩක් මහන්සි ඇරගන්න ගමන් පහු කරපු විනාඩි තත්පර ගාන මතක් කරන එක මහ ලොකු පරක්කුවක් නම් නෙවෙයි... මං හීමිට ඒ දෙවල් ගලපන්න පටන් ගත්තා... මොකද ආපහු ගමනට ඒ දේවල් ලොකු උදව්වක් වෙයි.... හැබැයි එක දෙය මං දන්නවා අයේ කවදාවත්ම ඒ වෙරළයි මේ වෙරළයි අතරේ මං ගිලෙන්නේනම් නැති විත්තිය.... ඒ දේ රෑ ද දාවලද කියලා වෙනසක් නෑ කියලා මගේ හිත කීවා............................

මරීනයි මායි...

මරීනයි මායි...