Wednesday, June 14, 2017

කඩදාසි රෝල්...



මම ලියන්න පෑන අතට ගත්තේ හුඟ කාලෙකට පස්සේ....එකපාරටම නුහුරු ගතියක් ආවේ ඒ හින්දා වෙන්න ඇති. කාලයක් තිබුණා මේ පුටුවේම වාඩි වෙලා මේ මේසෙ ම ඇන තියාන මේ පලු තුනේ ජනේලයෙන් කොළපාට ගස් ගොන්නක් දිහා බලාගෙන අකුරු කුරුටු ගාපු. ඒත් දැන්... මහ විශාලෙට හැදෙන බිල්ඩිමක කපරාරු නොකරපු තාප්පයක් විතරයි පේන්න තියෙන්නේ...ඒ හින්දා සිතුවිල්ලකටවත් දුර යන්න බෑ...හැමතැනම සීමා මායිම්...ඒත් අන්තිම කඩදාසි රෝලෙත් මොනාහරි ලියන්න ඕන කියලා හිතක් තිබ්බේ හුඟ කාලෙක ඉඳලා...

ආරම්භයක් නැති අවසානයක් නැති කතා ගොතන්න ඉස්සර ඉඳලම මම දක්ෂයි කියලා එයා නම් කිවේ... ඒ මගේ ස්ටයිල් එකලු... විශේෂයෙන්ම එහෙම නොලිවට එයා නොකියවපු අවසානයක් තියෙන කතා ගොඩක් කියවලා හිටපු මම හිතුවේ අවසානයක් තියෙන කතාවලට මම ඒ කාලේ ඉඳන්ම අසාවක් නැති බව විතරයි... එයා කියන හැම දේටම හිනාවෙලා ඔලුව හොල්ලන එකට එයාගේ කැමැත්තක් නොතිබුනත් මම හැමදාම කලේ ඒ දේ විතරයි...

"නැද්ද ඔයා ගාව අමුතු එන්ඩින් තියෙන තේරුම් ගන්න අමාරු ෆිල්ම්ස් එහෙම..."

අපි දෙන්නා කතා කරන්න පටන් අරගෙන ටික දවසකට පස්සේ ඔෆිස් එකේ මගේ මේසෙට බරවෙලා එහෙම අහපු හැටි කොහොම අමතක කරන්නද....

"තේරුම් ගන්න අමාරු.... ඇයි එහෙම විශේෂයක්...."

කැරකෙන පුටුව එයාගේ පැත්තට හරවපු මම එයාගේ ඇස් දෙකට එබුනේ එහෙම අහගෙන.. ඒ ඇස් එදත් රතු වෙලා..

"මට එතකොට ඒක ගැනම හිත හිත ඉන්න පුළුවන්නේ...."

එයාට තිබුනේ මහ සෙල්ලක්කාර සිතුවිලි...ඒත් සතියට දෙතුන් පාරක්ම උදේ ගුඩ් මෝනින් කියද්දි මගේ ඇස් මඟ හරින ගතියක් තිබුනේ නෑ කියලා මම බොරුවට නොලිය ඉන්නම්.හැම දවසකම ඔයා ඉටි රූපයක් වගේ ලස්සනට හිටියට හුඟක් දවස්වලට ඇස් රතුකරගෙන ඔෆිස් එන්නේ ඇයි කියන එක මට විතරක්ම තිබුන ප්‍රශ්නයක්...

එයාට ඔෆිස් එකේ ගොඩක් යාලුවෝ හිටියා..ඒත් එයා කෝපි බීවේ මාත් එක්ක විතරයි..මුළු දවසේම මම ඇඟිලි ගැන ගැන හිටියේ තුනයි කාලේ ඉඳන් තුන හමාර වෙනකං එයත් එක්ක කතා කර කර කැන්ටිමේ කොණක වාඩි වෙලා ඉන්න ඒ වෙලාව එනකං...බෝතල් අඩි වගේ ලොකු රවුම් තියෙන කණ්ණාඩි දාන කවදාවත් ලස්සනට පීරුනේ නැති අවුල් වෙච්ච කොණ්ඩයක් තියෙන කෙට්ටු මෝඩ පහේ පෙණුමක් තියෙන කොල්ලෙක් වෙච්ච මම කාලයක් කල්පනා කලේ ඒ ඇයි කියලා... පළවෙනි දවසෙම එයාගේ ඇදුමේ නෙස්කැෆේ එකක් හලපු වැරැද්දට දවස් කීපයක්ම සොරි කිය කිය එයාට නෙස්කැෆේ අරන් දුන්නට කවුද හිතුවේ හැමදාටම මගේ ගානේ නෙස්කැෆේ අරන් දෙන්න වෙයි කියලා..කොහොම හරි හැමදාම මොනවා හරි පිස්සු කතාවක් කියලා මාව හිනස්සන එකට ඒ වියදම හිලවු වෙනවා කියලා මම ගණං බැලුවා...

මම කෙටි කතා ලියන්න කැමතියි කියලා අහම්බෙන් කීව දවසේ එයාගේ ඇස් දෙකේ විදුලියක් කෙටුවා කියලා මම දැක්කේ කණ්ණාඩි දෙක අතරින්...ඒ හින්දම මම ලියපු කතා ටිකක් පහුවදා ගෙනත් දෙන්න පොරොන්දු වුනේ ඇත්තටම ඒවා කියවන්න කවුරුත්ම හිටියේ නැති හින්දමයි... එදා රෑ බෝඩිම පෙරළ පෙරළ කඩදාසි රෝල් වල ලියපු කෙටි කතා වලින් හොඳම ඒවා තේරුවේ නිදිමරාගෙන... ගෙනිහින් දුන්නට පස්සේ ඒවා කියව්වද නැද්ද මම ඇහුවේ නැති උනත් ඒවා හොදයි කියලා කීප විටකදීම එයා මතක් කලා... ඒයා හැමදාම කීවේ කෙටි කතාවක අවසානයක් නැති එක හොදයි කියලා.... පස්සේ දවසක එයා රාජ්‍ය සම්මාන කීපයක්ම දිනපු වික්‍රමතිලකගේ බොහොම දුර්ලභ කෙටි කතා පොතක් වෙච්ච "ලුණු සහ කඳුළු" පොත මට ගෙනත් දුන්නේ..ඒ වුනත් ඒ පොතේ තිබුනේ මහ බියජනක අවසානයන් තියෙන කෙටි කතා... ඒවා කොච්චර හොඳද කියනවා නම් මම කෙටි කතා ලියන එක නැවත්තුවා. හොඳ කතාවකට අවසානයක් හොය හොය මම ලියන එක කල් දැම්මා....

"කතාවකට අවසානයක් වැදගත්ම නෑ.... හිතන්න එපා වැඩිපුර....."

මම ලියන එක නැවත්තුව බව කීවම එයා හිනා වෙවි එහෙම කීවා...

" ඒ වුනත් අවසානයක් නැති කතාවකින් කාටවත් වැඩක් නෑ...."

"ඔයා ඉස්සර නම් එහෙම හිතුවේ නෑනේ......"

"ඒ ඉස්සර.... ඔයා හම්බවෙන්න ඉස්සර....."

හිතට එන දේ අමාරුවෙන් වචන වලට පෙරළන්න ඉඩක් හම්බුන එක හිතට සැනසිල්ලක් වුණා.
ඇස් ඉස්සරහට වැටිලා තිබ්බ කෙස් කැරැල්ලක් පස්සට කරගෙන එයා මං දිහා නපුරු විදිහට බැලුවා...

"මං කැමතිත් ඒ අවසානයක් ගැන හිතන්නේ නැතුව හිටපු කෙනාට...."

"පිස්සු ඔයාට......"

"ඔයා හිතන්නේ මේ මට පිස්සු හැදිච්ච පළවෙනි වතාව කියලද..... හරි.... ඔයා කියන්න කෙටි කතාවකට අවසානයක් තියෙන්නේ ඇයි කියලා..."

"ම්.... අවසානයක් වෙනුවෙන් තමයි කතුවරයා කතාව ගොඩනඟන්නේ.... ගොඩනඟපු අවසානයම විස්මයාර්තයකින් සුණු විසුණු කිරීම තමයි සාර්ථක කෙටි කතාකරුවෙක්ගේ ලක්ෂණය..පාඨකයා බලාපොරොත්තු වෙන්නේ ඒක......"

"ලේඛකයෙක් කියන්නේ බිස්නස් කාරයෙක් නෙමෙයි හලෝ... පාඨකයා ඉල්ලන ඉල්ලන දේ දෙන.... ලේඛකයෙක් කියන්නේ තමන්ට ඕන දේ තමන්ගේ නිර්මාණය තුලින් සොයා යන ගවේෂකයෙක්......"

"එහෙමයි කියලා අගක් මුලක් ගැලපීමක් නැති පල් හෑලි ලීවට වැඩක් යෑ.... අර මං ලියපුවා කියවද්දි මට ම වෙලාවකට හිතෙනවා කිසිම අරමුණක් නෑ කියලා ඒවගේ....."

"හරි.....පුළුවන්නම් ඔයා හොඳ අවසානයක් තියෙන කතාවක් ලියලා මට පෙන්නන්න.... මම හිතන්නේ ඒ ඔයාගේ ස්ටයිල් එක නෙමෙයි....එහෙම එකක් ලීවොත් ඒක වෙන ආභාෂයක් ගත්ත එකක් වෙනවා...පස්සේ ඔයාටම හිතෙයි ඉස්සර හිටිය කෙනා ලීව දේවල් කොච්චර ලස්සන ද කියලා..."

එයා එදා ඒ දේ කීවේ තරහින් කියලා මට හිතුනේම නැත්තේ ඇයි දන්නේ නෑ... සමහර විට කිසි තේරුමක් නැති දේවල් ලියලා මට ම එපා වෙලා තියෙන්න ඇති...

ඔෆිස් එකේ ඇනුවෙල් ට්‍රිප් එක යද්දි ඔක්කෝම සීට පාස් කරගෙන ඇවිත් එයා මං ගාවින්ම වාඩි වෙනකොට තමයි මට මුලින්ම බය හිතුනේ...මුලු බස් එකම මම දිහා බැලුවේ මහ කුඩු කේඩු බැලුම්... ඔෆිස් එකට අලුත් හින්දම මම බිම බලාගෙන හිටියා. හැබැයි එයා නම් ඒ කිසි දෙයක් ගණං ගත්තේ නෑ....බස් එකේ යන තුරාවට එයා මට "ද ලක් වන් " චිත්‍රපටියේ කතාව කියන්න ගත්තා... ඇස් දෙක වහපු ගමන් චිත්‍රපටිය බලලා නැතත් හැම දෙයක්ම මැවිලා පේන්න ගත්තා.... ඒත් ඒ වෙලාවෙදිවත් මම එයාගේ වෙදගිල්ලේ දාලා තිබුණ රත්තරං පට හීනි මුද්ද ගැන හිතන් නැතුව ඒ අත තුරුල් කරං හිටපු හැටි මතක් වෙද්දි මට ම පුදුමයි....

හොද කතාවකට හොද අවසානයක් හොය හොය දවස් පාස් කරද්දි තමයි දවසක් එයා අසනීප නිවාඩුවක් දාලා තිබුනේ....ඔෆිස් එකේ හැමෝම විස්තර ඇහුවේ මගෙන්..පුන්චි ආඩම්බරයක් ආවත් අර රත්තරං මුද්ද මතක් වෙද්දි හැම වෙලාවේම මම ගොලු වෙන එක නවත්තන්න බැරි වෙලා තිබුණා..
හොයලා බලද්දි එයාට ඩෙංගු...හොස්පිටල් ඇඩ්මිට් කරලා...මම කෑම පැයේ ඉක්මනට හොස්පිටල් එකට ආවේ එයාට මොකද උනේ කියලා බලන්න... කොහොම වෙතත් එයාගේ ඇඳ ළඟ උස කෙට්ටු ටිකක් වයස කෙනෙක් දැකලා මම එතනට ගියපු වේගේ අඩු කලේ හිතන්නේම නැතුව.... එයාට වැඩිය අමාරුවක් නෑ..ප්ලේට්ලට් පණස් පහට බැහැපු කතාවක් තමයි කීවේ...ඒත් මට ගැටලුවක් වුණේ එයාගේ ඇඳ ළඟ හිටපු මනුස්සයව ටිකක් දැකලා පුරුදු ගතියක් තිබුන හින්දයි...

"මේ මගේ හස්බන්ඩ්... ඔයා අහලත් ඇති.. සුනන්ද වික්‍රමතිලක...මේයා ලියපු පොතක් තමයි මම ඔයාට දුන්නේ......"

වෙන වෙලාවකනම් ජිවිතේ ලස්සනම මොහොතක් වෙන්න තිබුණා... සම්මාන ගත්ත කෙටි කතා රචකයෙක් එක්ක හැමදාම කතා කරන්න ලැබේවි යෑ....ඒත් එතනින් ආයේ ඔෆිස් එකට ආපු හැටිවත්... හවස් වෙනකං ඔෆිස් එකේ හිටපු හැටිවත් මට මතක තිබුණේ නෑ...

"සර්....ඕෆ් වෙන්නේ නැද්ද......."

කල්පනා ලෝකේක හිටපු මම සිහියට ආවේ නිහාල් ගේ හඩින්...

"ම්ම්ම්... වෙලාවත් හරි නේ ද...."

" සර්...පරණ පින්ටරෙන් අයින් කරපු කඩදාසි රෝල් දෙකක් තියෙනවා ඕනෙද......?"

මම එකපාරටම ගොලු වුණා..... මේසේ උඩ තිබුණ කඩදාසි රෝල් දෙක දිහා මම කල්පයක් බලං හිටියා වගේ දැනුණේ.....

"මොනවා හරි පල් හෑල්ලක් ලියන්න ඕනේ......."

මට ම කොඳුරපු මම කඩදාසි රෝල් දෙක සයිඩ් බෑග් එකට ඔබාගත්තා.....






######################################

Thursday, May 11, 2017

වෙසක් සිතුවිලි


අද ඇහැරෙද්දිම දවල් වෙලා....මහ මූසල දවසක්....
.
මූසලම හීන ගොඩක් එක්ක ඉඳලා ඇහැරුණ එක ගැන සතුටක් තිබ්බේ ඒවා හීන කියලා පැත්තකට දාන්න පුළුවන් හින්දා....ඒකත් සහනයක්.....
පන්සලේ වෙසක් බැති ගී.... බණ, සුමිහිරි ධර්ම දේශනා උදෙන්ම පටන් අරගෙන....ඉපදිච්ච දවසේ ඉඳන් කණ ගාව ඕවා ඇහෙන කොටත් කම්මලේ බල්ලා වගේ පත්තියං වෙලා තියෙන හින්දා... හදිස්සියේ කවුරු හරි බුදු උනත් මම ඇහැක් ඇරලා බලන එකෙක් නෙමෙයි....මොකද මම හොදටෝම දන්නවා මට තියෙන මේ ප්‍රශ්න එක්ක මේ ආත්මේ සෝවාන් වෙන්නවත්  කිසි චාන්ස් එකක්  නෑ කියලා....
අසු පස් වෙනි වරටත් පන්සලේ පවත්වන ජනෝපාකාර බත් දැන්සලෙන් ගෙදරට ම බත් බේසමක් එන හින්දාත් උඩහා ගමේ වුන් තියෙන බත් දන්සෙලෙනුත් බත් කොටහක් ගෙදරට ම වඩින හින්දත් වෙසක් එකේ අගයත් හුඟක්ම අඩු වෙලා..... ටවුම පුරාම අදත් දන්සැල්.. කොහේ ගියත් පොලීමේ ඉන්නේ නැතුව ඇතුළට පැනලා බත් පිඟානක් කාලා, කයියක් ගහලා එන්න පුළුවන් එකේ අපි කරන්නේ මොකක් හරි වාහන කට්ටක එල්ලිලා කොහේ හරී ඈතක ගොහිදින් දන්සැල් පෝලිමක පැයක් විතර ඉඳලා එක මාළුවක් එක්ක බත් ඩිංගක් කන එක.... එකේ තියන ලල් එක වෙන කොහොමටවත් ගන්න බෑ....
.
එලියට බහිද්දිම කඩෙන් ගෙනාං එල්ලපු වෙසක් කුඩුවක් ගිනි අරං.... රෑ පොදකුත් ගහලා තිබ්බ එකේ අනිත් කුඩූ ටිකත් තෙමිලා රැලි කඩං වැටිලා..අද පත්තු කරන්න වෙනම්ම සත්කාරයක් දෙන්න ඕනේ....
.
ඒකට ඉස්සර වෙසක් එකට කුඩූ හදනවා තරම් දෙයක් නෑ.... ගමේ ගිහින් රබර් වත්ත පුරා ඇවිදලා ඔට්ටපාලු ගලවගෙන... ඇළ ගාවට ගිහින් පතරංග උණ බටයක් බිම දාලා... එපා වෙනකං කූඩු හැදිල්ලක් තියෙන්නේ.... අටපට්ටම් එහෙම් හදද්දි කවදාවත් අන්තිමට හැදෙන කූඩුවේ සයිස් එක ගෙස් කරගන්න බැරි එකනම් මාර ම දෙයක්... අලවලා ඉවර වෙලා අන්තිමට හැඩ බලලා ඉටිපන්දමක් ගහලා පත්තුකරලා ඈතට ගිහින් බලනකොට හිතට එන දේ වචන කරන්න බෑ.... කොච්චර බකට් එල්ලුවත් මදි....සව් කොළ බකට් එකේ ඉටිපන්දමක් ගහලා එන එළිය කවදාවත් අරුමෝසම් ඉටිකොළ ගහපු කැටයම් බකට් එකකින් එන්නේ නැත්තේ ඇයි කියලා මට තාමත් තේරේන්නේ නෑ.... කොහොම උනත් උදේ නැඟිටලා බලද්දි කුඩුවක් දෙකක් ගිනි ගන්න එක වළක්වන්න සක්කරයටවත් බෑ.... සමහර විට අල්ලපු ගෙදර පොඩි එකා ඇවිත් ඕක ගිනි තියන්න ඇති කියළම තමයි මට හිතේන්නේ.... කුඩූවක් ලස්සනට හදලා අන්තිමට ගිනි අරං විනාශ වෙනවා දකින කොට සංසාරේ හැටි තේරේනවලු.... ඒකට හිත කලබල කර ගන්න ඕනේ නෑලූ....පොඩි කාලේනම් හිතට මාර වේදනයි.... ඒ කුඩූව දිහා බලලා හුල්ලනවා ඇර ඉතිරි වෙලා තියෙන කුඩු දිහා බලාගෙන හිත හදාගන්න මට බැරිඋණා....ඒත් දැන්.... කඩේං ගෙනාපු හින්දද දන්නේ නෑ...කුඩු පහම ගිනි ගත්තත් මට ගානක් නෑ... ඒ කියන්නේ සංසාරේ හැටි මට තේරිලාද.... ? නැත්තං මේ ඔක්කොම මට එපා වෙලාද.....?
.
කුඩූ කර්තව්‍යය අනිවාර්යෙන්ම වෙසක් එක දවසේ උදෙන්ම ඉවර කරන්න ඕනේ.... කූඩු විතරක් නම් කමක් නෑ අල්ලපු ගෙදර ගැරීජ් එකේ පොඩි මෑන්ට එගේන්ස් එකට පොඩි තොරං කෑල්ලක් ගහන එකත් මගේ ටාගට් එක....  මිනිහා වැඩ්ඩා... කැරකෙන කූඩු එහෙම ගහන්න රුසියා... මම වැඩිය කැමතියි ෆැලෑශර් කොටයක් ගහලා පොඩි තොරණක් ගහන්න.... ඉතින් හැම වෙසක් එකටම අපි දෙන්නා ගේමට මොකක් හරි විශේෂ සුකුරුත්තම් ටිකක් අටවනවා කඩේ ඉස්සරහා....ඔය වැඩේ ඉක්මනට ඉවර කරං බයිසිකල් කට්ටේ නැඟලා හවස් වෙනකං හතර දිබ්බාගයේ දන්සැල් වදින එකට තමයි මම නම් වෙසක් කියන්නේ...කොහේ ගියත් හවස හය වෙද්දි ගෙදර ඇවිත් කුඩු පත්තු කරලා පැයක් දෙකක් ඒ දිහාවේ බලන් ඉන්න එක මගේ හැටියක්... ඒ හින්දම අලුත් අවුරුද්දටත් වඩා වෙසක් එකට ගෙදර ඉන්න මම කැමතියි.... ඒකට දැන් කඩේං බල්බ් වැලක් ගෙනල්ලා දානවා ඇරෙන්න වෙන කිසි දෙයක් කරන්න ගැම්මක් නෑ.... ගිය පාර නම් යන්තමට අටපට්ටම් තුනක් බැඳලා දෙකක් අලවලා එල්ලුවා....ඒත් ඒක හදන්න උණ බටයක් හොයන්න ගොහින් සංසාරේම එපා වුණා.... ඉතින් මේ පාර කුඩූවක් අලවන්න කිසිම අදහසක් හිතේ තිබුනේ නෑ...
.
අනිත් එක තමයි වෙසක් එක කියන්නේ අහළ පහළ ගං වල ඉන්න ලස්සනම නංගිලා අක්කලා සුදු ඇදුමින් සැරසිළා ටවුමට එන එකම දවස.... ඉතින් වෙසක් රෑ වෙනකං හන්දි ගානේ රස්තියාදු ගහන එක අපේ පුරුද්දක්... සමහරු දිව්‍ය අංගනාවෝ පරාදයි... අවුරුද්ද පුරාම දිව්‍ය ලෝකේ ද කොහෙද ඉඳන් වෙසක් දවසටම විතරක් කානිවල් බලන්න ... පන්සල් වැඳ පුදා ගන්න මහපොළවට බැස්සා වගේයි... හරිම සැදැහැවත්... ඉස්කෝප්පයයි මමයි හැමදාම පුදුම වෙන හා තාම තේරුම් ගන්න බැරි ලෝක පුදුමයකුත් කියලා මේ දේ නම් කරා... ඒ තමයි මෙච්චර සැදැහැවත් යුවතීන් මෙළොව ඉන්නවද කියන එක... දැන් ඉස්කෝප්පයා වෙසක් එකටවත් ගෙදර එන්නේ නැති එකේ එහෙම ආතල් එකක්වත් ගන්න වාසනාවක් නෑ.... ඉතින් වෙසක් නෑ වගේ..
අන්තිමට හිතෙන්නේ ඇයි දෙයියනේ අපි පොඩි උන් වගේම හිටියේ නැත්තේ කියලා....ලොකු වුණ එක තමයි එකම වැරැද්ද....

මරීනයි මායි...

මරීනයි මායි...