Monday, August 7, 2017

තිරුවාණ ගල්...



එයා ආදරේ කලේ කුරුලු පිහාටු වලට... අහම්බෙන් හම්බෙලා එයා කුරුලු පිහාටු වලට කැමතියි කියනකොට මට පුදුම සන්තෝෂයක් ආවේ මටත් ඒ වගේ පිස්සුවක් තිබ්බ හින්දා...එයා එයාගේ දිග කොණ්ඩේ හැමදාම එක එක විදිහට අමුතු විදිහට හදාගෙන තමයි මාව හම්බවෙන්න ආවේ...ඒත් හැමදාම එක එක වර්ගයේ පාට පාට කුරුලු පිහාටුවක් කොණ්ඩේ ගහගෙන එන්න එයා අමතක කලේ නෑ...මටත් ඒ වගේම පිස්සුවක් තියෙන බව අහලා එයාට ඇත්තටම පිස්සු හැදුණා... ඒත් එයා ටිකක් නපුරුයි කියලා හම්බවෙච්ච දවසෙම මට හිතුණත් මම ඒ ගැන අමතක කලේ මට වගේ පිස්සුවක් තිබිච්ච මට හම්බුණ පළවෙනි එක්කෙනා එයා හින්දමයි.... හම්බවෙලා දවස් දෙකක් යන්නත් ඉස්සර මම එයාගේ කුරුලු පිහාටු එකතුව බලන්න ගියා.... බයිබලයටත් වඩා ලොකු පොතක තමයි එයා එයාගේ කුරුලු පිහාටු එකතුව අමුණලා තිබුණේ.... දාස් ගණන් කුරුලු වර්ග වල පිහාටු හරි ලස්සනට ඒකේ අමුණලා තිබුණා.... ඒක හරිම ලස්සනයි වචනෙයෙන් විස්තර කරන්න බැරි තරම්.... මම ඒ කුරුලු පිහාටු එකතුව බලලා අන්තිමට තිබ්බ ලොකු කෑ දෑත්තෙක්ගේ පිහාටුවක් ඉඹලා බලපුවම එයාගේ මුණත් රතුවුණා...ටික වෙලාවක් ගල් ගැහිලා හිටපු එයා මගේ කණට මෙහෙම කෙඳුරුවා....

"ඔයා හරි හොඳයි.... මම ඔයාට ආදරෙයි........."

."ම්ම්ම්ම්.....ඒත්......."

"ඇයි......ඒත් කියන්නේ......"

එයා ඇහුවේ එකපාරටම පුදුම වෙලා......

" මම කැමති තිරුවාණා ගල් වලට........"

"තිරුවාණා ගල්........"

"ඔව්......තිරුවාණා ගල්..... ඒවා තමයි ලෝකෙන්ම තියෙන ලස්සනම ගල්.... එහෙම තමයි අපේ තාත්තා කීවේ......."

"ඉතින්...................."

"මම තිරුවාණා ගල් එකතු කරනවා...... ඔයා කැමතිද ඒවා බලන්න......"

මම ඇහුවේ බලාපොරොත්තු පොදි බැඳගෙන....

"එතකොට ඔයා කැමති නැද්ද කුරුලු පිහාටු එකතු කරන්න......"

එයා එකපාර එහෙම ඇහුවේ බයවෙලා......

"කුරුලු පිහාටුත් ලස්සනයි.......ඒත් මම පොඩි කාලේ ඉඳන්ම එකතු කලේ තිරුවාණා ගල්..... මං ගාව ලස්සන එකතුවක් තියෙනවා.... ඔයා කැමතිද ඒක බලන්න....."

මම ඇහුවේ බලාපොරොත්තු පොදි බැඳගෙන.....

"ම්ම්ම්ම්..... මං එන්නම්කෝ ඒවා බලන්න......."

"අපේ තාත්තත් එක්ක ඉස්සර මම ඔයට යනවා නාන්න.... බයිසිකලේ ලැගේජ් එකට නැඟලා හරිම ආසාවෙන් මම යන්නේ.....ඒ යන හැමදාම දොල පාරේ තියෙන ලස්සනම තිරුවාණා ගල මම හොයාගෙන ගෙදර අරන් එනවා......."

මම ඇස් දෙක වහගෙන ඒ සොඳුරු අතීතේ මතක් කලේ පුදුම සතුටකින්.....

"අපේ තාත්තා නම් දඩයක්කාරයෙක්............."

එයා එකපාර කීවේ මගේ සිහින ගොඩ එකපාර සුණු විසුණු කරමින්......එත පහුවදාම එයා ආව හින්දා මගේ තිරුවාණා ගල් එකතුව බලන්න මම එයාට එක හිතින්ම සමාව දුන්නා....

"අම්මේ..... මෙච්ච්ර ලස්සන තිරුවාණා ගල්.....මෙච්චර ගොඩාක්......."
පරණ ලෑලි පෙට්ටගමක් මම පිළිවෙළට අහුරලා තිබ්බ එක එක පාට තිරුවාණා ගල් ගොඩ දැකලා එයා පුදුමයෙන් කෑ ගැහුවා.....
මම ආඩම්බරයෙන් හුස්මක් ගත්තේ එතකොට....

"ඇයි මේ තිරුවාණා ගල මේ හැඩේ....?"
"ඇයි මේක කොළපාට වෙලා තියෙන්නේ....?"
"මේ බලන්නකෝ මේ ගලේ මකුළු දැලක් වගේ ඉරිතලලා....".
"මේ මේක....හරිම සිනිදුයි......"
ඊළඟ පැය බාගේම එයා කතා කලේ තිරුවාණා ගල් ගැන විතරයි....
එතන තිබ්බේ මම ජිවිත කාලේම එකතු කරපු මට තිබුණ එකම සම්පත විතරයි... ඉතින් කෙනෙක් ඒ ගැන මෙච්චර ආසාවෙන් කතා කරපුවාම එයත් එක්ක ආදරෙන් බැඳෙන්න වෙන දේවල් ඕනේද....මම මගේ හිතෙන් එහෙම්ම ඇහුවා....

"ඔයා දැකලා තියෙන ලස්සනම තිරුවාණා ගල කෝකද....."

මම එහෙම ඇහුවේ හිතේ බලාපොරොත්තු පොදි බැඳගෙන... මගේ එකතුවේ තිබුණ ලස්සනම් තිරුවාණා ගල තමයි අවුරුදු සිය ගානක් දිය සෙවළ බැඳිලා කොළ මැණික් කැටයක් වගේ දිලිසෙන එකක්.... ඒක දෙතුන් පාරක් අතට අරගෙන බැලුව එයා කීවේ වෙනම ම කතාවක්....

."මෙතන පුදුම හිතෙන ලස්සන තිරුවාණා ගල් තියෙනවා....ඒත් මේ ඔක්කොටම වඩා ලස්සන ගලක් මං දැකලා තියෙනවා......"

ඊළඟ මිනිත්තු භාගයම මම හිටියේ හුස්ම අල්ලන්න බැරි තරම් පුදුම වෙලා......

"කොහෙදි ද..... අනේ මට කියන්න....."

මම එහෙම ඇහුවේ හිතාගන්නවත් බැරි නොඉවසිල්ලෙන්...

"මම දන්න ගල් ගුහාවක් තියෙනවා.... ඒකේ ලස්සන දිය උල්පතක් තියෙනවා.....එතන තියෙනවා හදවතක හැඩය ගත්ත තිරුවාණා ගලක්.....ඒක මැණික් ගලකටත් වඩා ලස්සනයි..."

එයා ඒක කියද්දි මට උහුලාගන්න බැරි උණා....

"අනේ..... මාව එතනට එක්ක යන්න..... මං ඔයා කියන ඕන දෙයක් කරන්නම්......."

"අපෝ.....මට එතනට යන්න බෑ....ආයේ.... කැලේ මැද්දෙන් ගොඩක් දුර යන්න තියෙනවා......"

එයා අදිමදි කලේ හිනා වෙවිම.... ඒ වෙලාවෙදි තමයි එයාගේ නපුරු ගතිය මම ඉස්සෙල්ලාම දැක්කේ.....

"ගන්න.... මේ තියෙන ඔක්කොම තිරුවාණා ගල් ඔයා තියාගන්න...මාව එතන්ට එක්ක ගියොත් මම මේ ඔක්කොම ඒවා ඔයාට දෙනවා....."

"මට මොකටද තිරුවාණා ගල්.... මං එකතු කරන්නේ කුරුළු පිහාටුනේ....."

"ඔයාට දෙන්න කුරුළු පිහාටු එකක්වත් මං ළඟ නෑ නේ......."

මම එහෙම කීවේ ඉවසගන්න බැරි දුකකින්......

.
" මං කියන්නද..... ඔයාට ඔච්චරම ඕනේනම් මට පුලුවන් ඒක අරගෙන එන්න..... හැබැයි ඔයත් මට දෙයක් ගෙනල්ලා දෙන්න ඕනේ....."

ඒ පාර එයා කීවේ මගේ ඇස් දෙකට එබීගෙන....
ඒ ඇස් ඇතුලේ දුඹුරු පාට විශ්වයක්ම තියෙනවා මට පෙනුණා..... මං මොහොතකට එතන අතරමං වුණත් හරි ඉක්මනට සිහි එළවා ගත්තා.......

"මොනවද......ඕන දෙයක් මම ගෙනත් දෙන්නම්....."

"මට ඕනේ සුදු උකුසු පිහාටුවක්.........................."

"සුදු උකුසු පිහාටුවක්..............!!!!"

"ඔව්........."

"කොහෙන්ද මම සුදු උකුසු පිහාටුවක් හොයන්නේ.........."
මම නිරුත්තර වෙලා ඇහුවා......

"හොඳයි.....මම කියන්නම්කෝ.....කාටවත් කියන්න එපා මම දැක්කා සුදු උකුස්සෙක් දැං කීප සැරයක්ම වගුරු බිම පැත්තේ......"

"වගුරු බිම.............."
මම පොඩි වෙලාවක් නිශ්ශබ්දව කල්පනා කරා.......

"ඉතින්........................."

"මම කියන්නේ ඔයා මට සුදු උකුසු පිහාටුවක් ගෙනත් දුන්නොත් මමත් අර ගල් ගුහාවට ගිහින් මම කියපු හදවත් හැඩේට තියෙන තිරුවාණා ගල ඔයාට ගෙනත් දෙන්නම්............."

"හොදයි මම අදම එහෙනම් වගුරු බිම පැත්තට යනවා..... සුදු උකුසු පිහාටුවක් හොයාගෙන මිසක් ආයේ ඔයා හම්බවෙන්න එන්නේ නෑ.............."

මම එහෙම කීවේ හදවත් හැඩේට තියෙන තිරුවාණා ගල කොහොම හරි අයිති කරගන්න හිතාගෙන....ඒත් මම වගුරු බිම ගැන අහලා තිබ්බ කතා වල හැටියට මේක සෙල්ලම් වැඩක් නෙමෙයි කියලා මට හිතුණා...


##########################################

"ඊයේ.. මහ මූසල දවසක්.......මන්දාරම් ගතිය උදේ ඉඳන් තිබුණත්.....දවල් වෙද්දි පායන්න ගත්තේ ගණ සැරේට, උහුලාගන්න බැරි තරමට රස්නයක් තිබ්බේ....වැට අයිනේ හැමදාම ඉරට හිනාවීගෙන හිටපු සුරියකානතත් අඩපණ වෙලා මැලවෙනවා දැක්ක මට පුදුම හිතුණා....ඒ වෙලාවේ තමයි මම ඔය සුදු උකුස්සව පළවෙනි පාරට දැක්කේ.... ඌ සෑහෙන ලොකුයි... අහසේ ඉඳන් ඊතලයක් වගේ පාත් වෙලා කටු අනෝදා ගහේ හිටපු ලේන් පැංචෙක් ඩැහැගෙන ආයේ උඩට ඇදුණා......මට විශ්වාස කරගන්න බැරි උණා...ඌ කෙලින්ම වගුරු බිම පැත්තට තමයි පියැඹුවේ....."

"ඒ කියන්නේ ඇත්තටම සුදු උකුස්සෙක් වගුරු බිම පැත්තේ කැරකෙනවා....."

මම මටම කියාගත්‍තේ වගුරු බිම අයිනේම කිට්ටුවම පදිංචි වෙලා හිටපු ජෝර්ජිනාගේ කතාව ඇහුවට පස්සේ...

"එහෙනම් දැන්ම පිටත් උනොත් ඇඳිරි වැටෙන්න ඉස්සැල්ලා ආපහු එන්න පුලුවන්..."

පොඩ්ඩක් කල්පනා කරපු මම එහෙම කීවට,කල්පනා කලේ හිස්බවක් ගැන විතරයි..

"පිස්සුද සින්බෑඩ්.... යන්න හිතන්නවත් එපා ඔය පැත්තට...ඔයා හිතන්නේ ඔය සුදු උකුස්සාව හොයාගෙන වගුරු බිමට යන පලවෙනියා ඔයා කියලද....."

ජෝර්ජීනාගේ කතාවට මම ගැස්සිලා ගියේ එකපාරටම....

"මොකක්ද ඒ කතාවේ තේරුම ජීනා...."

ජෝර්ජීනා හිනාවුනේ සමච්චලේට වගේ... හරියට මම නොදන්න කතාවක් මෙතන තියෙනවා වගේ....

"සින්බෑඩ් ඒ කියන්නේ මුකුත්ම දන්නේ නැද්ද... ඔය උකුස්සා අවතාරයක් ලු..මිනිස්සු රවට්ටගෙන වගුරු බිමට එක්කගෙන ගිහින් වල්මත් කරලා බිලිගන්න පිල්ලියක්ලු.....මුලින්ම ඔය උකුස්සා පස්සේ ගියේ දොළපාර උඩහ ජීවත් වෙන දඩයක්කාරයා... දවස් ගානක් ගියත් මිනිහා ආපු නැති නිසා ගමේම මිනිස්සු එකතු වෙලා වගුරු බිමට හොයන්න ගියා...ඒත්..."

"ඒත් .......කීවේ......"

"දඩයක්කාරයා ගල් වෙලා පිලිමයක් වෙලාලු...මුන තනිකරම විකෘති වෙලා බය වෙලා...හොයන්න ගියපු අය පුදුම බයකින් ආපහු ආවේ.....ඊට පස්සේ ඔය සුදු උකුස්සව හොයාගෙන ගියපු මෝඩයෝ හැරැණු කොට කවුරුත්ම වගුරු බිමට ගියේ නෑ....."

"ම්ම්ම්....."
මම ලොකු හුස්මක් ගත්තා...

"මම යන්නේ උකුස්සව හොයාගෙන නෙමෙයි...ජීනා...."

"එහෙනම්.........."

ජීනා ඇහුවේ ඇස් දෙක ලොකු කරං....කෙට්ටු උණාට ජීනා හැඩකාර කෙල්ල....අපි දෙන්නගේ පුන්චි කාලේ ඉඳන් තිබුණේ ලොකු බැඳීමක්...සහෝදර බැඳීමක්...

"උකුසු පිහාටුවක් හොයාගෙන...."

"ඒ මොකටද......? දැන් තිරුවාණ ගල් එකතු කරන්නේ නැද්ද....."

"මට නෙමෙයි ජීනා....යාලුවෙක්ට......."

මම එහෙම කීවේ ජීනාගේ ඇස් දෙක මඟහැරලා උස නැති පඳුරු වලින් මහා භයංකාරෙට පේන වගුරු බිම දිහා බලාගෙන

"යාලුවෙක්ට....... !!!...පිස්සු වැඩ කරන්න එපා සින්බෑඩ්... තට්ට තනියම වගුරු බිමට යන්නේ ඔයාට මොන යකෙක් වැහිලද...."

"කෑ ගහන්න එපා ජීනා.... මං යනවා... බය නොවී ඉන්න....."

"ඔයා නම් මහ හිතුවක්කාරයෙක් සින්බෑඩ් අයියේ...... ඔයා කවදාවත් මම කියන දේවල් වලට කන් දෙන කෙනෙක් නෙවෙනේ...."

එහෙම කියාගෙන අඬ අඬා ජෝර්ජිනා එයාගේ පැල පැත්තට දීවා.... වගුරු බිමට යන්න ලේසිම පාර වැටිලා තිබ්බේ ජෝර්ජිනාලාගේ වත්ත කෙළවරින්.... මම කටු පඳුරු මෑත් කරගෙන වගුරු බිම දිහාවට ඇදුණා....

මේ වගුරු බිම තමයි අපේ ලොකේ කෙළවර උනේ...කවුරුත්ම දන්නේ නෑ වගුරුබිමට එහා පැත්තේ මොනවා තියෙනවද කියලා....අපේ තාත්තනම් කීවේ වගුරුබිම කෙළවර වෙන්නේ රතු පාට මුහුදකින් කියලා....ගමේ හිටපු කවුරුත්ම කවුරුත්ම ඒක දැකලා තිබුනේ නෑ... ජීනානම් විශ්වාස කලේ අනන්තයට යනකං වගුරු බිමම විතරයි කියලා....ගමේ වයසින්ම වැඩි රෝසි ආච්චි නම් කීවේ ඕක ගැන මේ විදිහට....
" හැතැප්ම දාස් ගානක් ඔය වගුරු බිම තියෙනවා..කිසිම මිනිහෙක්ට ඕක හරහා එහා පැත්තට යන්න බෑ....යෝධයෙක්ට ඇර... වගුරු බිම කෙළවර වෙන්නේ උසම උස කන්දකින්....ඒ කන්දේ මුදුන වළාකුළු වලටත් උඩින් තියෙන්නේ....ඒ යෝධයන්ගේ රාජධානිය...."
පිස්සු විකාර කියවන රෝසි ආච්චිගේ කතාව පොඩි සන්දියෙදි අපි විශ්වාස කරාට පස්සේ අපි හිතුවේ ඒක හිතලුවක් කියලා විතරයි....
.
මුලින්ම තිබුණේ ලොකුවට හැදිච්ච කටු පඳුරු...ඒවා මෑත් කරගෙන යද්දි විශාලෙට හැදුණු ඉලුක්,මානා පදුරු කැලේ පහුකරන් මම එකපාරටම විශාල එලිමහන් බිමකට ආවා...හාත්පස සිසාරා බලපු මම එකපාරටම පුදුම උණේ ඒ වගේ විශාල නිදහස් අවකාශයක් ඒ තරම් විශාල නිදහස් අවකාශයක් දැක්ක පළවෙනි පාර හින්දා...අනන්තයට යනකං තැනින් තැන් ශේෂ වී ගිය පුන්චි කඳු ගැටි හැරුණකොට හැමතැනම තිබුණේ මූසල පාලු බව විතරයි... වහින කාලේ උනත් තාම වැස්ස පටං ගත්තේ නැති හින්දා පොඩ්ඩ ඇත්තං එරෙන මඩ වඟුර ඝන සැරේට වේලිලා තිබ්බේ... සැහැල්ලු පියවර තිය තිය මම ඉස්සරහට ඇඳුණේ බොහොම පරිස්සමෙන්...අතේ තිබ්බ දිග ලීයෙන් විටින් විට එරෙන තැන් හොයමින් මම ඉස්සරහටම ගියා...
හිතේ තිබ්බේ එකම එක සිතුවිල්ලයි....

"සුදු උකුසු පිහාටුවක්.....සුදු උකුසු පිහාටුවක්...."

ඉර මුදුන් වෙනකං ඇවිද්දත් මට සුදු උකුස්සගේ හෙවණැල්ලක්වත් හොයා ගන්න බැරි වුන එකෙන් මම අන්තයටම කලකිරීලා සරුවට වැවුණු කටු පදුරක් යටින් ඉඳගත්තේ රස්නෙයි තෙහෙට්ටුවයි දරා ගන්න බැරීව... තිරුවාණ ගල හීනයක්ම වෙයි කියලා බයක් තිබ්බත් ඊට වඩා බයක් පසුතැවිල්ලක් හිතට ආවේ අර විශ්වයක් වගේ දිලිසෙන ඇස් දෙකට වෙච්චි පොරොන්දුව ඉෂ්ට කරගන්න බැරිවෙන එකයි කියලා මට හිතුණා... රෑ වෙලා නොතිබ්බත් වටේටම ඇහුණේ රැහැයියන්ගේ සද්දේ විතරයි... විටින් විට කුරුල්ලන්ගේ සද්දේ ඇහුණත් ඒ මොක්කුද කියලා මම දැනගෙන හිටියේ නෑ....ඉවසන්න බැරි රස්නෙට මට එහෙම්ම ඇස් දෙක පියවුණා...

මම හිටගෙන හිටියේ ගල් ගුහාවක් ඉස්සරහා...අරයා මගේ අතින් අල්ලගෙන හිටියා...ඒ ගල් ගුහාවෙන් එලියට ගලං ආවේ නිල් ම නිල් පාට ඇළ පාරක්, පේන විදිහට ඒක ඇතුලේ ලොකු කලුවරක් තිබුණා....

"අපි මෙතනින් වාඩි වෙමුද...."

එයා ඇහුවේ මගේ අත තුරුල් කරන්...ඒත් මට කිසිම උණුසුමක් දැණුණේ නෑ....

"හා.............."

මම හිතන්නත් ඉස්සර මම ම කීවා... මම ටිකක් ලොකු ගල් ගෙඩියක් උඩ වාඩි උනා..එයා මං ගාවම තිබ්බ පොඩි ගල් තලාවේ වාඩි වෙලා මගේ උකුලේ ඔලුව තියාගත්තා.... හැමතැනම තිබුණේ මහ අද්භූත සීතලක්...මගේ ඇස් ඇදුණේම ගල් ගුහාව අස්සට....කාන්දමකින් වගේ මාව ඒ දිහාවට ඇඳෙනවා මට දැණුණා.....

"ඇයි... සින්බෑඩ් ඔයා මට සුදු උකුසු පිහාටුවක් ගෙනාවේ නැත්තේ......"

මගේ දැහැණ බිදුනට මට එයා කියපු කිසි දෙයක් ඇහුණේ නෑ......

" ඒක ඇතුලෙද.......අර ඇතුලේ නේද තියෙන්නේ......"

මම සිහිනෙන් වගේ මිමිණුවා....

"මොකක්ද....ඔයා ට මම කියපු එක ඇහුණද...."

එයා තරහින් වගේ මුණ උස්සලා බැලුවා....

"තිරුවාණ ගල.... හදවත් හැඩේට තියෙන තිරුවාණ ගල......"

"ඔව්....එතන තමයි තිබුණේ හැබැයි දැන් නෑ......"

"දැන් නෑ.... මොකක්ද ඒ කතාවේ තේරුම මරීනා.....!!!"

"මම ඒක අරගෙන හැංගුවා....ඇයි ඔයා මට සුදු උකුසු පිහාටුව ගෙනාවේ නැත්තේ...."

ඇත්තටම ඇයි මම සුදු උකුසු පිහාටුව ගෙනාවේ නැත්තේ කියලා මම කල්පනා කරා...මම වගුරු බිමටත් ගියානේ...මම පොරොන්දුත් උණානේ මම අනිවාර්යෙන්ම සුදු උකුසු පිහාටුවක් අරන් එනවා කියලා...ඉතින් ඇයි මම එහෙම නොකලේ...මම හිතුවා...මම කොහොමද මෙතන ගල් ගුහාව ළඟට ආවේ... මට මුලක් මැදැක් අගක් හිතාගන්න බැරි උණා....
මරීනා අත් දෙකෙන්ම මූණ වගෙන අඬන්න පටන් ගත්තා......ඒත් එක්කම ලොකු හුළං පාරවල් සීතලත් එක්කම කොහෙන්දෝ හමන්න ගත්තා...දොළ පාරේ වතුර සැඩ පාරක් වගේ වෙලා ඉහිරුණ වතුර බිංදු සීතලට මාව තෙමන්න ගත්තා.....

"ඔයත් අනිත් අය වගේම තමයි සින්බෑඩ්....ඔයාටත් කිසිම හිතක් පපුවක් නෑ....පිරිමි ඔක්කොම එකයි... ඔයාලට ඕන දේ විතරයි වැදගත්...."

ඉකි ගහන අතරේ මුමුණපු මරීනා එක පාරට ම මං දිහා බැලුවා....එයාගේ ඇස් වෙනුවට එතන තිබ්බේ නිල් පාට තිරුවාණ ගල් දෙකක්....මම එකපාරටම බය උණා...

"ගන්න....මේ..ක....මේකනේ ඔයා..ට ඕනේ....අරගෙන යන්න ම..ම.. මැරුණත් ඔයාට දුකක් නෑනේ......"

හදවත දිහාට අත් දෙක තද කරපු මරීනා එකපාරටම ලේ පිරුණ හදවතක් මගේ දිහාවට දික් කලා...තිබුණ මන්දාරම් එලියට වුණත් රතුපාට ලේ ගැවුණ ඒ නිල්පාට තිරුවාණ ගල මැණිකක් වගේ දිලිසුණා....ඒ තමයි මම දැකලා තිබ්බ ලස්සනම තිරුවාණ ගල... මම ගල් ගැහිලා ඒ දිහා බලං ඉද්දි මුළු ලෝකේම කලුවර වීගෙන ආවා....ලොකු හුළං පාරවල් ඉහලින් වද්දිදි මම උඩ බැලුවා....

ආකාසේ කලුවර කරගෙන යෝධ උකුස්සෙක් මං දිහාවට පාත් වෙනවා විතරයි මම දැක්කේ....
මම ඇහැරුණා.......................

හැම පැත්තෙන්ම මාව කලුවර වටකරගෙන.....එතන තිබ්බේ රාත්‍රියටත් වඩා වැඩි අඳුරක්... හොඳටම රෑ වෙලා...මම බය වෙලා නැගිට ගත්තා...එකපාරටම ලොකු අකුණක් කෙටුවේ මාව හොදටෝම බය කරගෙන...වහින්න ඔන්න මෙන්න...අහසේ තිබ්බ කලුවර වළාකුළු අකුණු එලියෙන් දැක්ක මම දැනගත්තේ මේ වහින්න යන්නේ එසේ මෙසේ වැස්සක් නොවන එක විතරයි....මොන කරුමයක් ද...මම වටපිට බැලුවත් ආපහු යන්න පාරක්වත් වැස්සට නොතෙමී ඉන්න තැනැක්වත් ..හොයාගන්න පුලුවන් වෙයිද මේ වගුරු බිමේ...වැස්සොත්නම් හැම දොළ පාරක්ම පිරිලා ඇවිත් වැටෙන්නේ වගුරට...ඒ කියන්නේ ආපහු යන එක සියදිවි නසාගන්නවා වගේ වැඩක්.....එතන කටු පදුරු ගස් වල පිහිට විතරයි...මම කොහෙවත් නොයා එතනම ඉන්න තීරණය කරනකොටම ලොකු ලොකු වැහි බින්දු එක දෙක අහසෙන් විසිකරන්න පටන් ගත්තා විතරයි.....

අහස කඩාගෙන වැටෙන්න ගත්තේ එකපාරටම...කිසි දෙයක් කරගන්න බැරි වුණ මම දණහිස් දෙකේ ඔලුව ඔබාගෙන කටු පඳුර අස්සේ පුදුම දුකක් වින්දේ....කල්පයක් විතර වහින්න ඇති...ඒ වගේ වැස්සක් මම ජිවීතේට දකලා නෑ...ඇට මිදුළුත් එක්ක සීතලට ගල්ගැහිලා මම මුළු ලෝකේටම සාප කර කර ඉද්දි එකපාරටම වැස්ස නැවතුණා...විටින් විට ඈත් ගහපු අකුණු දෙකක් තුනක් ඇරෙන්න මුළු පුදුම සංසුන් කමක් එකපාර පරිසරයේ ආපු හින්දා මම හිටපු තැනින් නැඟිටලා බැලුවා...හැමතැනම එරෙන්න පටන් අරගෙන...

මං ලඟින්ම ලොකු හුළං පාරක් එක්ක මහ අමුතු පිහාටු සද්දයක් ආවා...එකපාරටම හැරිලා බලද්දි මට මුලින්ම පෙණුණේ ලොකු ඇස් දෙකක් විතරයි..ඒ වගේ ඇස් දෙකක් මම කිසිම තැනක දැකලා නෑ.....

"කාලෙකින් හොඳ වැස්සක් නේද.... පොඩ්ඩක් තෙමුණනම් තමයි ඒත්.............වහින කොට වහින්න ඕනේ ඔය වගේ....."

ඒක මහ ගැඹුරු තියුණු කටහඩක්....

"ක..ව්ද......ඔ.ත.න....." මම ගැස්සිලා ඇහුවා.....

"තමුන් හොයාගෙන ආපු දේ තමයි....... ලස්ස්නම ලොකුම සියලු කුරුල්ලනේ රජ්ජුරුවෝ වෙන යෝධයන්ගේ මාවත සුරකින සුදු උකුස්සා මම තමයි.....යී....යී...යී........."

"කතා කරන උකුස්සෙක්......."
මට එකපාර කියවුණා....
තවත් හීනයක් ද මට එකපාර හිතුණා....

"යී................ කතා කරන්න හොඳ වෙලාවක් නම් නෙමෙයි....ඒත් කෙට්ටු ඉත්තෑ කොණ්ඩයෝ තමුන් ආවේ මාව මරන් යන්නද අල්ලං යන්නද....යී...යී...යී...."

ඒ හඩේ තිබ්බේ මහ උජාරු ගතියක්.... පළවෙනි වතාවට රෝස් ආච්චී කියපු කතා කරන සත්තුන්ගේ කතන්දර ඇත්තද කියලා මට හිතුණා....

"අපෝ නෑ.........."

එකපාරතටු ගහන සද්දෙත් එක්ක ඇස් දෙක උඩට පාවෙන්න ගත්තා...ඒ එක්කම ගහපු අකුණෙන් මේ ඉන්නේ සුදු උකුස්සා කියලා වගේම ඌ සෑහෙන ලොකු එකෙක් කියලත් මට පෙණුණා...

"බොරු කියන්න එපායී....යී...යී....කෝ තමුන්ගේ අයුධ... ඔය තියෙන්නේ ඔය ලොකු පොල්ලෙන් මට ඇනලා මාව මරන්න නේද ඉත්තෑ කොණ්ඩයෝ තමුන් ආවේ....ලස්සනම සුදු උකුස්සා මරන්න නේද තමුන් ආවේ.....යී..............."

"නෑ....නෑ.......ලස්සනම ලස්ස්න සුදු උකුස්සෝ.....මම වේ ඔයාගේ ලස්සනම ලස්ස්න කුරුළු පිහාටුවක් ඉල්ලගන්න...."

මුහුණ ලඟටම ආපු තටු පාරක් ආපහු ඇදෙනවා මට දැනුණා....

"මගේ පිහාටුවක්.....මගේ පිහාටුවක්........ආ තවත් උකුසු පිහාටු හොරෙක්..... දන්නවද ඉත්තෑ කොණ්ඩයෝ කලිනුත් දුන්නකුත් මානගෙන කුරුළු පිහාටු හොයන්න දඩයක්කාරයෙක් ආවා....යී......යී.....යී......."

"මම ආවේ හොරකම් කරන්න නෙමෙයි......"

"එහෙනම්......යී.... කොහොමද මට හිංසාවක් කරන්නේ නැතුව ඉත්තෑ කොණ්ඩයා මගේ පිහාටුවක් ගලවන්නේ.....යී........"

"ගැලවුණු එකක් හොයන්න මම ආවේ....."

"උකුසු පිහාටු එහෙම ලේසියෙන් වැටෙන්නේ ගැලෙවෙන්නේ නෑ...ඉත්තෑ කොණ්ඩයෝ... තමුන් කුරුළු පිහාටු එකතු කරන කෙනෙක් නෙමෙයි නේද....කාටද ඒක ගෙනියන්නේ....කියනවා මට...කියන්වා....යී....යී....."

"ඔව්......ඒක මට නෙමෙයි.... මම ආදරය කරන කෙනාට................."

"යි.....ආදරය.............යී ආදරය.....ඉත්තෑ කොණ්ඩයා දන්නේ නෑ නේද යෝධයන්ගේ රාජධානියේ ආදරය කියලා එකක් නෑ කියලා...යී...අනික එක පිහාටුවක්වත්අඩුව මේ ලස්සනම ලස්සන උකුස්සට ආයේ එහෙට පියාඹන්න බැරි වෙනවා කියලා.....යී..............."

"එහෙනම් මට එපා කුරුළු පිහාටුවක්......මට මේ මේ වගුරෙන් එලියට යන්න පේන්නනවද......"

සීතලෙන් දියබත් වෙලා හිටපු මම එහෙම ඇහුවේ මේ හැම හෙයක්ම එපාවුණ ගානට......

"එතකොට යී.....ඉත්තෑ කොණ්ඩයගේ ආදරවන්තිට මොකද කියන්නේ....යී........"

මම ඒකට මුකුත් උත්තරයක් තිබුණේ නෑ... මට මතක් උණේ හීනේ පෙණුන එයාගේ ලේ ගැවුණු හදවත වගේ තිරුවාණ ගල විතරයි.....

"මං ගව යී.... එකම එක පිහාටුවක් තියෙයි...ඉත්තෑ කොණ්ඩයට දෙන්න...මම ඒක දෙන්නම් යී ආපහු යන පාරත් පෙන්නන්නම්.....හැබැයි කවදා හරී මට දෙයක් ඕනේ ආපහු "

"දෙයක්...... මොන වගේ දෙයක් ද....."

"යෝධයන්ගේ රාජධානියේ නැති දෙයක්.... මිනිස්සු ළග තියෙන දෙයක්....කවදාවත් නැති වෙන්නේ නැති දෙයක්....තියෙනකොට අගයක් නැති දෙයක්...ඒක මහ අමුතු දෙයක්....ඒත් කවදාවත් ඉල්ලන්න හොඳ නැති දෙයක්....යී...යි....."

"ඒ මොකක්ද....."

"ඒක එක එක කාලෙට එක එක විදිහට වෙනස් වෙන දෙයක්..... නම කියන්න හොද නැති දෙයක් කියලා මම මෝඩ ඉත්තෑ කොණ්ඩයට දැං කීවා නේද.....යී...යී...යී...."

"හරි මම දෙන්නම්.....කවදද......?"
අප්‍රංබංස කතාබහෙන් හෙම්බත් වෙලා ම මම කීවා...

"මට ඒක ඕන දවසට යී....යී.....යී.... දෙනවද....දෙනවද....දෙනවද......යී......."

"දෙන්නම්........"
ඕන දෙයක් කියලා හිතාගෙන මම කීවා.... ඈතින් වළාකුළු කම්පා කරගෙන අකුණු ගොඩක් ගහන්න පටන් ගත්තා..........
#############################################

මතු සම්බන්ධයි....

4 comments:

  1. දිග කතාවක් වුණත් ආසාවෙන් කියෙව්වෙ. ලස්සනයි.

    ජයවේවා!!!

    ReplyDelete
  2. පට්ට.....ඉතුරු කොටස කෝ

    ReplyDelete
  3. Aththa kathawakda?

    ReplyDelete

මරීනයි මායි...

මරීනයි මායි...