Wednesday, May 25, 2016

"හදිස්සියේ මං මැරුනොත් පලයං මගේ කාමරේට........"


වෙසක් එකට ඉස්කෝප්පයා ගෙදර ඇවිත්...ඉස්සර වගේ නෙමෙයි දැන් මිනිහව හම්බවෙන්නේ ඉඳහිට. සින්බෑඩ් ටුත් මේ දවස් වල ගොඩබිමනේ... ඉතින් වෙසක් එක ගැන...ආගිය කතා ගැන කතා කරන්න දෙන්නා හැමදාම සෙට් වෙන සුපුරුදු තැනටම සෙට් උනා... සින්බෑඩ් ට හොදටම සෙට් වෙන චරිතේ තමයි ඉස්කෝප්පයයි හාරතය යි..දැන් හාරතයා ගෙවල් අතහැරලා නුවර ගොහින් හන්දා ෆට්ටම පාලුවේ හිටපු සින්බෑඩ් ට මේ තත්පර ගාන මහ ලොකුවට වැදගත්...රුවිතයා හිටියට වැඩක් නෑනේ... සින්බෑඩ් නම් කොහොමත් කලා බර නේ....ඉතින් බංකුවක් බිත්තියට හේත්තු කරන් දෙන්නා කතාව පටන් ගත්තා...ඔය අතරේ නිල් පාට දුම් කැරළි දෙන්නව වහගද්දි ඉස්කෝප්පයා සාක්කුවෙන් සිගරට් පෙට්ටියක් එලියට ඇදලා ගත්තා...

"ෂි.... බලප තව පෙට්ටි 2 ක 3ක් ගෙදර තියනවා.. විසික් කරන්න මතක් වෙන්නෙම නෑනේ..."

මගේ ඇස් උඩ ගියා...

"හිස් ඒවද...."

"ම්... ඔව් බං..."

ඉස්කෝප්පයා පොඩ්ඩක් කල්පනා කරලා ආයේ කතා කරන්න පටන් ගත්තා...

"මේ හදිස්සියෙවත් මං මැරුනෝත් උඹ ඉක්මනට අපේ ගෙදර පලයං...කාමරේට..."

මූ ඉතින් ආතල් ම ලෝකයක්නේ... ඉතින් මාත් ගහගෙන හිටපු මනෝ පාර කඩන් මූ කියන එක ඇහුවා...

"ගිහින්...."

ඔන්න මන් හූ මිට්ටකුත් තිබ්බා...

"ඇද යට කෙලවරේ තියෙනවා සුට්කේස් එකක්....ගනින් ඕක ඇඳ උඩට...මෙහෙම ඇරපන්...."

මූ අතින් අරින හැටිත් පෙන්නනවා...

"ඇරලා ඒකේ ඇති හිස් බියර් බෝතලයක්.... ටින් දෙකක් ... හිස් සිගරට් පෙට්ටි දෙක තුනක්... හංගලා..."

"යකෝ විසික් කරන්න එපැයි ඕවා...."

"හැමදාම අමතක වෙනවා බං...හොරෙන් බීලා එලියට දාන්න බැරිව හංඟනවා... පස්සේ අමතක වෙනවා...මේ මතක් උන වෙලාවේ අහගනින් .... උඹ මං මැරුනොත් එහෙම ඉක්මනට ගිහින් ඕවා ටික අස්කරලා දාපන්.... අම්මට අහුවුනොත් එහෙම පෙට්ටියේ ඉන්නකොට උනත් ගුටි කන්න වෙනවා..."

ඔය අතරේ සින්බෑඩ් ටත් මතක් උනා හදිස්සියේ මං මැරුනොත් හංගන්න මොනවද තියෙන්නේ කියලා....

"හරි උඹේ වැඩේ මං කරන්නම්...හැබැයි මටත් උදව්වක් කරන්න ඕනේ...."

"ඇයි උඹේ කාමරේ මොනවද තියෙන්නේ මිසින් කරන්න..."

"මං මැරුනොත් පලයං කාමරේට...මගේ අර පලු දෙක උඩට අරින පරණ මේසේ තියෙන්නේ.."

"ඔව්....."

"ඒකේ වම් පැත්ත ඇරපන්....එකේ ඇති කලු ටියුලිප් කවර දෙකක දාලා ලියපු කඩදහි මහ ගොඩක්..."

"ලියපුවා.... ලව් ලෙටර්ද....?"

"නෑ බන්...ලව් ලෙටර් ඔක්කොම පිච්චුවා....ලියපු අනං මනං වල් පල්... ඒ ටික අරගනින්..උඹ කියවන්නත් එපා....ගෙනිහිං පුච්චපං...."

"මොනවද ඒකේ තියෙන්නේ...."

"ඔව්...ඉතින් තොට කියවන්න එපා කීවට අහයිද ඕවා.... අරූට කෑල්ල උඹ අතේ එවපු ලියුම හොරෙන් කියවලා මං ගැන ලියලා තියෙන දේවල් සෙට් එකේ හැමෝටම කියපු ඩයල් එකනේ "

ඉස්කෝප්පයා බඩ අල්ලං හිනා වෙන්න ගත්තා....ඒ පරණ කතාවක්...රස කතාවක්...

"ඉතින් දැම්ම මං කියන්නම් ඒකේ තියෙන්නේ අපි ඔක්කොම කෙලපු පිස්සු....ඔක්කොම නම් ගම් වාසගමුත් එක්ක..අවස්තා සම්බන්දය දාලා එලටම ලියලා තියෙයි...ඕවා කවුරු හරි කියෙව්වොත් මැරුණු මං එක්කම තොපිටත් මැරෙන්න තමයි වෙන්නේ...."

"මලා...... තෝ මැරෙනකං ඉන්න ඕනේ නෑ.... යමං අදම පුච්චමු......"

"මරනවා තෝව.....අදම පුච්චන්න....මං මැරුනහම උඹ ඒ වැඩේ කරහං.... ඕනේම නං උඹ කියවහකෝ...හැබැයි උඹ විතරයි....වෙන එවුන්ට දුන්නොත් හොල්මනක් වෙලා ඇවිත් තෝත් එක්කම පවුල් කනවා....."

ඉස්කෝප්පයයි මායි...අපි දෙන්නගේ බොළද කතාවට බොක්කෙන්ම හීනා වුනා ටික වෙලාවක් යනකං....

"මාත් ලීවනේ ඩයරියක්....ඔය වගේ....."

"නෑ.... කොයි කාලෙද...."

"දැන් අවුරුදු 2 ක් ඇති..."

"ඉතින්........."

"කාටවත් කියවන්න බැරි වෙන්න මට විතරක් කියවන්න කියලා බැඳි අකුරු වලින් තමයි ලීවේ......"

"ඉතින්... ඉතින්..."

"මේ ලඟදි මොකක් හරි මතක් කරගන්න ඕන වෙලා...පැය ගානක් ඩයරිය පෙරළගෙන හෙව්වා හෙව්වා....වැඩක් උනේ නෑ..."

"ඇයියේ...."

"මං ලියපුවා මටම හොයාගන්න බැරි උනා.....
ආයේ ඩයිරි ලියන්න ඕනේ නෑ කියලා හිතුනා......"

"හරි හරි එහෙනම් ඒක පුච්චන්න ඕනේ නෑ....උඹ බයවෙන්න එපා...."

හිනාව අතරින් මම කීවා....

1 comment:

  1. හෆොයි . . මැරෙන්න හිනා ඕයි

    ඉස්සර මම කටාර් ඉන්න කාලේ අම්මට එවන ලියුම් අම්මා අරන් තියාගෙන ඉන්නව මම ආවහම මට කියලා කියෝගන්න.

    මාත් ට්‍රයි කරනවා ම්හු . . මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ

    ReplyDelete

මරීනයි මායි...

මරීනයි මායි...