Wednesday, January 27, 2016

බූට්…..

බූට්…..
.
මේක නම් හිතේ අමාරුවට ම ලියන සටහනක්…හිත රිදුනම හදාගන්න වෙන දෙයක් ගැන හිතුවම හරියනවලු…ඒක හින්දම තමයි බූට් ගැන ලියන්න හිතුනේ….කොල්ලෝ කෙල්ල්ලෝ නම් ඉතින් බූට් කිව්වම නොදන්න එකක් යැ…මම දන්න විදිහට හා අහලා තියෙන විදිහට කෙල්ලො තමයි වැඩිපුර බූට් තියන්නේ…හැබැයි මන් නම් කියන්න යන්නේ ඒ බූට් ගැනනම් නෙමෙයි…හමුදාවේ හිටපු කොල්ලෙක් හැටියට මට නම් බූට් කියපුවම ඔලුවට එන්නේ ඔය කොල්ලෝ කෙල්ලෙන්ටත්….කෙල්ලෝ කොල්ලන්ටත් තියන බූට් නෙමෙයි…. කකුල් දෙකට දාන බූට් දෙක….. ඕකත් මාරම කේස් එකක් තමයි ..මං හිතන හැටිය ඒ බූට් ගැන ලියන පලවෙනියම මම ද කොහෙද…
.
සමාන්යෙන් සිවිල් ජිවිතෙදි කකුල් දෙකට දාන්නේ එක්කො සපත්තු…නැත්තන් සෙරෙප්පු…ඒත් හමුදාවෙදි ඔය කකුල් දෙකට දාන ගොඩාක් දේවල් තියෙනවා…ඒවා අතරින් කකුල් දෙකට දාගෙන ඉන්න අමාරුම එක තමයි බූට්…හමුදාවට ගියපු ගමන් තමන්ටම කියලා දෙන සබ්බ සකලමනාවම තියෙන පතරංග බෑග් එකේ තියෙන නානාප්රකාර සපත්තු ජෝඩු අතරේ ඔය හම්බවෙන බූට් දෙක තමයි traning කාලේ තමන්ගේ මාරයා වෙන්නේ කියලා ඕක මුලින්ම අතට ගන්නකොට නම් හාංකවිසියක්වත් හිතෙන්නේ නෑ…ඉතින් මටත් ගියපු ගමන්ම කිරි කිරි ටොයියෝ වගේ අලුත්ම කලු පාට බූට් 2ක් හම්බවුනා…ඉතින් අපිත් අලුතෙන්ම පොලිස් ටින්,පුලුන් පැකට්, පොලිස් බ්රස් එහෙම අරන් ලෑස්ති උනා……මොකටද…බූට් පොලිස් කරන්න….
.
“ප්රතමයෙන්..ඔය අලුත් බූට් දෙක සතියක් පමන වතුරේ දමා පෙඟෙන්නට හල යුතුය…එසේ මෙලෙක් වීමෙන් අනතුරුව වතුර වියලෙන තුරු කට්ට අව්වේ තැබීමෙන් පසුව පොලිස් කිරිම ඇරැඹිය යුතුය… පලමුව අලුත්ම පොලිස් ටින් එකක් බූට් දෙකේ ගෑ යුතුය..වැඩි ප්රමාණය ටෝ එකේය…ටෝ එක යනු ඉදිරියෙන් ඇති රවුම් අඩාකාර වෙන්කර ඇති කොටසය…අනෙක් ටික සිහින් කට්ට රටාවක් ඇති සපත්තුව වටේ ගෑ යුතුය…අනතුරුව පැයක් දෙකක් පමණ අව්වේ තබා පොලිස් බ්රස් එකකින් සිහින් කට්ට රටාවක් ඇති වටේ ප්රදේසය දීප්තිමත් වනතුරු පොලිස් කල යුතුය… වටේ පොලිස් කර අවසන් වු පසු වතුරින් පොඟා ගත් පුලුන් කැබැල්ලකින් සෙමෙන් ටෝ එක මත ඇති පොලිස් මත තවරමින් කවාකාරව කැරකිය යුතුය…එක පැත්ත්කට විතරක් රවුමට පුලුන් කැබැල්ල කරකවමින් ටෝ එක මතින් මුහුණ පෙනෙනා තරමට එය ඔප දැමිය යුතුය…අනතුරුව බූට් දෙකේ අඩියද පොලිස් ගා පොලිස් කල යුතුය…අවසානයේ දිගු ලේස් එකේ ද පොලිස් ගා දීප්තිමත් වනතුරු මැදිය යුතුය….” පුහුණුකරුවන්ගේ උපදෙස්…………………………
ඉතින් අපිත් කලා ….හප්පේ ඔය ප්රොෆිසනල් ඇඩ්වයිස් ඒ විදිහටම පිලිපැදලා බූට් දෙක ගොඩ දා ගැනිම තමයි අපේ මුලික අරමුණ වුනේ….නැත්තන් ඉතින් කොසු පොලු පාරනේ…ඒත් ඕක කියන තරම් ලේසි වැඩකුත් නෙමෙයි…මුලින් මුලින් අඩුම ගානේ දවසට පැය හතරක් පහක්ම බූට් දෙකට වැය කරන්න ඕනේ…එකතැනක බිම ඇණ තියාන හිමිට ටෝ එක ඔප දමන්න පුදුම ඉවසීමක් තියෙන්න ඕනේ… මට නම් නැත්තෙම ඕක..විනාඩි පහකට වඩා බූට් එක අල්ලන් ඉන්න බැරි හින්දා ඕක පැත්තකින් තියලා ගිහින් වටයක් දාලා වෙන වැඩක් එහෙම කරලා ඇවිත් ආයේ අතට ගන්නවා….ඔහොම තමයි traning කාලේ මුල් දවස්… මට මතකයි අපි සම්පුර්ණයෙන්ම ඉරිදා දවසක් ඔය වැඩේට කැපකරා… ඒත ඕකටත් අත් ගුනේ තියෙන්නෙ ඕනේ….මුලින්ම අරමුණ වුනේ ටෝ එක කණ්ණාඩියක් වගේ කරගන්න එක තමයි…ඉතින් පලවෙනි දවසෙම පැය ගානක මහන්සිය හින්දම බූට් සැහෙන මට්ටමකට පොලිස් වෙලා තිබුනා ..බැජ් එකේ කොල්ලො ඉතින් අනුන්ගේ බූට් බලාගෙන ඊට වඩා හොදට පොලිස් කරගන්න ටෝ එක අල්ලන්න …දත කාගෙන මහන්සි වුනා…
.
ඉතින් මූණ පේන්න තරමේ දීප්තියක් තියෙන විදිහට පොලිස් කරපු බූට් දෙක දාගෙන පහුවදා උදේ යන්න ඕනේ සරඹ පිටියට බූට් දෙක කකුල් දෙකට දැම්මට පස්සේ හරි අමාරුයි…බූට් එක එක සයිස් වලින් ආවට ඔක්කොම එකම හැඩයටනේ…ඉතින් අපේ කකුල් එහෙමයෑ….එක එක්කෙනාගේ කකුල් එක එක හැඩ…සතියක් වතුරේ දාලා මෙලෙක් කරන්න හැදුවත් එතකොටත් ගල් වගේ හයියයි…ඒකනේ බූට් කියන්නේ…කිටි කිටියේ ලේස් දාලා තදකරහම අම්මේ….කකුල් දෙකට ලාඩම් ගැහුවා වගෙයි…ඇවිදින්නේ කොරවක්කෝ නෙලුම් කොලේ උඩ යන ගානට…ඊට අමතරව ඇන්ග්ලට් කියලා සුදු පාට ටස්ක් ගාන පත බෙල්ට් වගේ දෙකකුත් ගාංචු දාලා වලලුකරෙන් උඩට තියෙන බූට් කොටස කවර් වෙන්න බඳිනවා…ඒක වෙනම වදකාර පුරාණයක්…ඉතින් ඔහොම පයින්ම යන්න ඔනේ කිලොමිටරයක් දෙකක් සරඹ පිටියට සපත්තුවේ ඕපේ නැති නොකරගෙන…සරබ පිටියෙදි උදෙන්ම කරන්නේ නිල ඇදුම් වල පිරිසිදු තාවය හා නීට් එක…ඔතනිනුත් වැඩි සැලකිල්ල ඔපය තියාගන්න අමාරු බූට් දෙක ගැන තමයි…ඔය වෙන්කොට දුවිලි ටිකක් වැදිලා මඩ ටිකක් වැදිලා එහෙමත් නැත්තන් හොදට දිලිසෙන මට්ටමට බූට් දෙක තිබුනේ නැත්තන්….ඒ චෙක් කරන නිලධාරියා පනිශ්මන්ට් විදිහට ෆුට්බෝල් පිට්ටනියක් වගේ විශාලෙට තියෙන සරඹ පිටිය වටේ රවුම් පහක් දහයක් දුවන්න කියනවා …ඇවිදින්නත් අමාරු තරමට හිරට තියෙන බූට් දාගෙන ඔය කියන රවුම් ගාන කොල්ලෝ දුවන්නේ කුණුහරප ශබ්දකෝශ හිතෙන් කියව කියව…දුවලා ඉවරවෙද්දි ගන්ඩ සන්සාරයක් නෑ….පාං කියන්න පණ නෑ…ඇයි එතකොට අර දිලිසි දිලිසි තිබ්බ බූට් දෙක…. ඒකෙත් ගන්ඩ දෙයක් නෑ…ඔතනින් පටන් ගන්න දවස කන්න තියෙන හැම පනිශ්මන්ට් එකක්ම කාලා බඩගාලා…පෙරලිලා රෝල්වෙලා ….අන්තිමට දවස අන්තිමෙදි බුට් දෙක වෙලක හාන්න දැම්මා වගේ…. ඇයි…බූට් ගලවනකොට කොල්ලන්ට අම්මා තාත්තා මතක් වෙනවා….ඇයි දෙයියනේ අපිව මේ ලෝකෙට ජාතක කලේ කියලා…..
.
ඉතින් බූට් දාපු ගමන් 90% කගෙම බූට් කට් එනවා… බූට් කට් කියන්නේ බූට් එකේ ඇතුලේ වැඩිපුර හිරට තියෙන කොටස් කකුලේ තුවාල වීම හා වැඩිපුර ලිහිල්ව තියෙන තැන් ගැටිමත් එක්ක හම යාම…දිය පට්ටා ඒම…කරන්න දෙයක් නෑ…ඔවා එක්කකම ඊලඟ දවසෙත් අර සෙල්ලමම තමයි…..ඉතින් එදා රෑටත් පොලිස් කරන්න ඕනේ…මඩ ගල් වල්ට හීරුණ තැන් පිලිසකර කරලා ආයේ දිලිසෙන්න පොලිස් කරන්න ඕනේ…මට මතකයි මුල් කාලේ කොල්ලෝ එලිවෙනකන් බූට් පොලිස් කරනවා…කොහොමත් මාසයක් දෙකක් යනකන් ඔය බූට් කෙරුවාව හින්දා කොල්ලො නිදා ගනිද්දි දෙකත් පනිනවා අයේ හතර හමාරට ඇහැරෙනවා…සමහරු කොට්ටේ වෙනුවට බූට් එක තියාගෙන පොලිස් කරනවා රෑට…උන්ට එහෙම්ම බූට් බදාගෙන නින්ද යනවා…සමහරු නිදිමතේ උඩ ඇදේ එකාගේ බූට් එක පොලිස් කරනවා…සමහරු එක බූට් එකම දෙපාරක් පොලිස් කරනවා…උදේට තමයි මැරෙන්න හිතෙන්නේ…ඔය කාලෙට බූට් කාලා හිටපු උන්ට කෙල්ලෝ මතක් වෙලා ඌරු ජුවල් නගිනවා…
ඇත්තටම දවල්ට කන්න දෙන පුන්චි වෙලාවේ දඩි බිඩිගලා කාලා ඇවිත් කොල්ලො තියෙන පුන්චි පුන්චි වැඩ ඉවරකර ගන්නේ සම්පුර්ණ රාත්රියම සර්ව රාත්රික බූට් කෙරුවාවට… නොකරත් බෑනේ…එතකොට තට්ටම් අඩනවා පොලු පාරවල් වලට… ඔහොම කාලයක් යද්දි බූට් පොලිස් කිරිම ඇඟට පත්තියන් වෙනවා…සමහරුන්ගේ බූට් අත තියද්දි දීප්තිය එනවා…සමහරුන්ට කොච්චර කලත් නෑ… උන් ගුටි කෑමේ මනා පලපුරුද්දක් ලබනවා…කාලයක් යද්දී බූට් කකුල් වලට හුරු වෙනවා…ඇඟේම කෑල්ලක් වෙනවා …බූට් පොලිස් කිරිමේ ශිල්පීය ක්රම හොයා ගන්නවා… ගින්දරෙන් පුච්චලා…ඉටිපන්දම් කිරි වලින් ඔප දාලා…යකඩ හැදි වලින් තවලා …සමහරු බූට් දෙකට දෙවියන්ට වගේ සලකනවා…සමහරු බූට් දෙකට ආදරේ කරන්න පටන් ගන්නවා...තනියම බූට් දෙක එක්ක කතා කරනවා..ටෝ එක දිහා බලාන රෑ තනියෙන් හිනා වෙනවා...කනට ගැහුවත් හිනා වෙන කොල්ලෝ බූට් එක පොඩ්ඩක් හීරුනොත් යක්ශාවෙශවෙලා මරාගන්න හදනවා...රෑට නිදා ගද්දී, උදේට ඇහුරුනු ගමන් බූට් දෙක හොදට තියනවද බලනවා... සාක්කුවේ පුලුන් කෑල්ලක් අරන් ගිහින් දුවිලි ටිකක් වැදුනු ගමන් දෙකට නැමිලා පිහදානවා...කලාතුරකින් නිමාඩුවක් හම්බවුනාම උදේ ඉදන් බූට් දෙකට සාත්තු කරනවා...හැම කොල්ලෙක් ගාවම බූට් පොලිස් කරන ආම්පන්න තියෙන පොඩි පෙට්ටියක් තියනවා...ඕකේ පොලිස් ටින්,පුලුන් පැකට්,ඉටිපන්දම්,ගිනිපෙට්ටි, කතුරු,පේපර් කටර්,දත් බුරුසු,කොට්න් බට්,පොලිස් ගාන බ්‍රස්,පොලිස් කරන බ්‍රස්,...වගේ නානාප්‍රකාර බූට් පොලිස් කරන්න අවශ්‍ය කරන අයිටම් තියාගෙන ඉන්නේ...ඒ අතරේ ඔය මුකුත් නැති..වටේ ඉන්න කොල්ලන්ගෙන් වතුර ටික පවා ඉල්ලගෙන ගේම ගහන චරිතත් ඉන්නවා...කැම්ප් එකේ කැන්ටිමේ බල නැවි අඩුවට පොලිස් ටින් ගෙනත්ම ගෙදරට ටයිල් ටික අල්ලගත්තා මට මතක විදිහට.....කොහොම නමුත් අවු තුනහමාරක් අපේ කොර්ස් කාලේ ඉවරවෙනකොට බූට් ගැන වෙනම ඩිග්රියක් අපි හැමොටම ලැබුනා….ආගිය කතා කිය කිය කොල්ලෝ තැන් තැන් වල ආසාවෙන් බූට් පොලිස් කරණ කාලෙකුත් එනවා….ඔය අතරේ ඉන්නවා මොනවා කරත් බූට් දෙක ගොඩ දා ගන්න බැරි වුන්…. මේ මන් වගේ….ඇයි බූට් දෙකට ආදරයෙන් සලකන හැටියට තමයි….ඒක හින්දා ප්රොෆිසනල් මට්ටමේ බූට් පොලිස් කරන කොල්ලෙක් අල්ලගෙන මුරුංගා අත්තේ තියලා ඌට පගවට බිස්කට් පැකට් එකක් එහෙම අරන් දීලා සතියකට වරක්වත් හොද සාත්තුවක් බූට් දෙකට දීලා ජාම බේරගත්ත මන් වගේ කීපදෙනෙකුත් බැජ් එකේ ඉන්නවා….ඔය අතරෙම අපි වගේ වුන් හින්දා මුලු බැජ් එකම සමහර වෙලවට සරබ පිටියේ දන ගහගෙන ගිනි අව්වේ බූට් පොලිස් කරනවා පනිශ්මන්ට් එකට….
.
අන්තිම අන්තිම වෙද්දි කොලන්ගේ බූට් ගින්දර වගේ…උදෙට රැවුල කපන්න කන්නාඩි ඕනේ නෑ…බූට් එකෙන් බලාගෙන කපන්න පුලුවන්….බූට් ගැනනම් තව දාහක් කතන්දර කියන්න පුලුවන්…ඒත් දැන්නම් අහලම ඇති වගේ නේ….ඇත්තටම හමුදා ජිවිතේ හම්බ වෙච්චි ලොකුම ඇණේ තමයි ඕක,,,, ඔය බූට් දෙකනම් මට මහ වේදනාවක්…දුකක්… කරුමයක්…හැබැයි ඇත්තම කතාව ඕක නෙමෙයි…අර ඔය ගොල්ලො කියන …අර කෙල්ලෝ තියන “බූට්” කාපූ එකෙක් විදිහට වැඩිය වේදනාව තියෙන්නේ කකුල් වලට දාන ඒ බූට් වලනම් නෙමෙයි කියලා සහතික වශයෙන් කියන්න පුලුවන් මට……

No comments:

Post a Comment

මරීනයි මායි...

මරීනයි මායි...