බ්ලොග් අවකාශයේ මේ දවස් වල යන සිංදු රැල්ල දැක්කහම ඇස් දෙකට කඳුළු එනවා..... ඒ හැම ලිස්ට් එකකම මගේ ප්‍රියතම සිංදු තියෙන හින්දම මගේ ලිස්ට් එක නිකන්ම පොල් රොඩු ගානට වැටෙන එක හින්දයි... කොහොම උනත් ඉයන්ගේ සිතුවිල්ලකට පටන් ගත්ත රැල්ලට සින්බෑඩ් අහු වුනේ සිතුවිලි සිතුගේ චැලෙන්ජ් එකට...ඒත් එක්කම කොළඹ ගමයගේ,හංසිගේ,ගස් ලබ්බගේ, නිදහස් සිතුවිලි, පොකුරු වැහි වගේ අයගේ සිංදු දැක්කහම පුදුමත් හිතුනා කීවොත් බොරුවක් නෙමෙයි... අහල තියෙන විඳලා තියෙන සිංදු දාස් ගානකින් ප්‍රියතම දාසයක් තෝරන එක පට්ටම අමාරු වැඩක්... ඒත් ප්‍රියතම සින්දුවක් කියන්නේ හැමවෙලාවෙම මුමුණ මුමුණ ඉන්න එකක්වත් ඩොල්කියකට ගිටාර් එකකට ජීවය දෙන එකක්වත් නෙමෙයි මට... අහම්බෙන් හරි ඇහුනොත් මතක සැමරුම් දොරේ ගලන සින්දු කීපයක් ජිවිතෙත් එක්ක බද්ද වෙලා වෙලා තියෙන සිංදු කීපයක් තමයි මගේ ලිස්ට් එකේ තියෙන්නේ... කීප දෙනෙක්ගේ ලිස්ට් වලට අහුවෙලා සින්බෑඩ්ගේ ප්‍රියතම සිංදු අඩුවෙද්දි අන්තිමට ඉතුරු උනේ මේ ටික තමයි...
1. කරුණා සුවඳ තවරාලූ...
නිහාල් නෙල්සන් මහත්තයා ගායනා කරන මේ ගීතය සින්බෑඩ්ගේ ඇස් වලට කඳුළු අරගෙන ආවේ සින්බෑඩ් එක වසරේ ඉද්දි..ඒ සින්බෑඩ්ගේ අම්මා දුර රටකට ගියාට පස්සේ හෝන්තු මාන්තු වෙලා හිටිය පොඩි මෑන් අහම්බෙන් වගේ රේඩියෝවෙන් මේ සිංදුව අහලා සැහෙන්න ඇඬුවා...
"දූවලා ඇවිත් පෙර ලෙස මා..... එක පිම්මේ
අම්මා කියන්නේ..... කාටද අද අම්මේ......"
මේ පද දෙක ඇහෙද්දි තාමත් සින්බෑඩ්ගේ ඇස් තෙත් වෙනවා පුංචි කාලේ සිහිවෙලා...
2. තරු මල් යායම පොඩි කර අහස් ඉමේ....
අජිත් මහත්තයගේ ලිස්ට් එකේ තිබ්බ මේ සිංදුව සින්බෑඩ් ගේ ලිස්ට් එකෙන් කපන්න හිත දුන්නෙම නෑ...ඒ මේ තරම් විරහව වෑහෙන විරහ ගීතයක් තවත් නෑ කියලා සින්බෑඩ් එකෙන්ම කියන හින්දයි.... සිංදුව කොහේදි ඇහුණත් නපුරු ඇස් දෙකක් මතකෙට එනවා...........
"තැවුනේ දැවුනේ පිවිතුරු සිතකින්
එකම ලඳක් වෙත පෙම් කල උමතුවෙනි "
3. ලඹ සවන් රන් පටින්...
මේ ගීතයේ තියෙන අමුතුම රිද්මෙට සින්බෑඩ් පුදුම ආසවක් තියෙන්නේ... නමුත් ඒ රිද්මෙට යටවෙන්නැති ගැඹුරු තෙරුමක් සරලව විඳගන්න පුලුවන් ගීතයක්.....
"කැණි මඩල පලාලා... සුණු විසුනු කලා මැදුරක්
යලි මැදුර තනාලා.... වෙහෙසුමක් තොපට නැත්තේ...."
4. රණ බිම මැරුණේ සිංහලයෙක් නම්....
සින්බෑඩ් ඉතින් NAVY එකේ හිටපු කොල්ලෙක්නේ...රෙක් කුඩ් කාලේ පාන්දර හතරේ ඉඳන් පෙරඩ් ග්‍රවුන්ඩ් යන්න ලෑස්ති වෙලා පට්ට කට්ටක් කාලා අටහාමරට ජාතික ගීය එහෙම කියලා පෙරඩ් එකේ යනකොට පාං කියන්න පණ නෑ... එක එක සරඹ දාගෙන යද්දි පොඩ්ඩක් හරි ගට එන දෙකට තියෙන්නේ බෑන්ඩ් එකෙන් දෙන සප් එක විතරයි... මේ ගීතය බෑන්ඩ් එකෙන් ගහද්දි අම්මපා එනවා ගටක්.......................................... ඒක දන්නේ එක විඳපු එකෙක් විතරයි...ඉතින් මේ සිංදුව කොහෙදි හරි ඇහෙද්දි මතක් වෙන්නෙම පෙරඩ් ග්‍රවුන්ඩ් එකේ කාපු කටු..... ඒවයේ රහ දැන් තමයි තේරෙන්නේ...
"මල් යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ....
කිසිදා නොමියන මල් පුබුදිනවා
විරුවන් මළ රණ බිම මත්තේ......"
5. කැමේලියා මල් සුවඳට....
කිසිම හේතුවක් නැතුව මේ ගීතයටනම් හදවතින්ම කැමතියි... කිත්සිරි ජයසේකරයන් ගායනා කරන මේ ගීතයට අකමැති කෙනෙක් නම් හොයාගන්න බැරි වෙයි....ගීතයට අමුණලා තියෙන්නේ කවුරුත් කැමති චිත්‍රපටියක කොටස් ටිකක්.... එකෙන් ගීතයට අමුතුම රසයක් දීලා තියෙයි...
"යන්න ගියේ බිය හිතිලද.... සිඬරෙල්ලා..........."
6. පමාවෙලා මුණ ගැහුණු නිසා.....
දමිත් අසංක ගායනා කරන මේ ගීතය ඇහෙද්දිම සින්බෑඩ්ට මතක් වෙන්නේ මේ දවස් වල දත කාගෙන ට්‍රයි කරන ක්‍රෂ් එක.....අනේ මංදා ඉතින් කොලු කාලෙනේ.....
"කවිකාර ඔය නෙතේ
රස හංගලා.......
ඔබ වගේ තවකෙක්
මට නම් එපා...."
7. පනා සෙනෙහස....
දුෂ්මන්ත වීරමන්ගේ ආදරණීය කටහඩින් වර්ණ ගැන්වු මේ ගීතය අහනකොටම සින්බෑඩ්ට මතක් වෙන්නේ P3 මැශින් එකක් තියාගෙන මේ සිංදුව ගමටම ඇහෙන්න දාගෙන හිටපු හැටි...........
"සත් පියුමන් මැද නුඹ අඩ සඳකි
ගැස්සෙන නුඹේ ලැම මට මල් දමකි...."
8. විකසිත පැතුමන්...
මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගායනා කරන මේ ගීතය සින්බෑඩ්ගේ හිත ගත්තේ ජනක ක්‍රිෂාන්ත ගායනා කරන හින්දමයි.....
"මා මත් වීලා.................................."
9. සඳ කැන් වැසිලා...
කවුරුවත් ලඟ පාත නැති පාලූ රෑක අහන්න ආසම ගීතයක්..... පසුබිම් කතාව නම් නොදන්න කෙනෙක් නැතුව ඇති..........
"මගේ එලිය අද ඔබ පමණී..................................."
10. මේ තරම් සියුමැලිද කලුගල්....
රජීව් වසන්ත වෙල්ගම රචිත මෑත කාලයේදි සිංහල ගීතයට උපරිම වටිනාකමක් දුන්න ගීතය මේක තමයි.. සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන මේ සිංදුව සින්බෑඩ් මුලින්ම ඇහුවේ උදාර කියන ගන් බෝට් එකක ඉද්දි... ඒ දවස ජීවිතේ එපාවෙන තරමට කට්ට කාපු දවස්.... ගාල්ලේ නේවි ෆියර් එකට වෙලා මුහුද දිහා බලාගෙන පාන්දර එකට දෙකට ඔහේ මේ සිංදුව අහපු දවස් තිබුනා... දැන් නම් මතක් වෙද්දිත් ඇඟ හිරිවැටෙනවා... ඒ මතකයන් අරං එන මේ සිංදුවට සින්බෑඩ් පුදුම විදිහට කැමතියි....
"රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා......."
11. රන් කුරහන් මල සේමා....
භාතිය සංතුශ්ගේ වැඩියෙන්ම සිත් ගත් ගීතය මේක තමයි... ඇහෙනකොටම ගමේ වෙල දිගේ සරුංගලයක් ඇඳන් දුවන කාලේ මතක් වෙනවා...
" ගම්මානේ මා මන බඳිනා................."
12. පෙනෙන නොපෙනෙන......
ඒ 2012 දී... අපේ ෆස්ට් සෙමිස්ටර් එකේ අන්තිම... ෆෝන් ඔක්කොම සීනියර්ස්ලා එකතු කරනවා. ඉරිදට විතරයි ෆෝන් යූස් කරන්න දෙන්නේ... ලොකු බෑග් එකකට ෆෝන් ටික එකතු කරගෙන ගියාම මෙස් එකේ කොල්ලෝ ඉන්නේ නිකන් හෝන්තු මාන්තු වෙලා... ගෙදරට කතා කරන්න... කෙල්ලට කතා කරන්න බැරිව දුක් විඳින කොල්ලෝ සෙනසුරාදා රෑට ෆෝන් බෑග් එක අරන් එනකන් ඉන්නේ පුදුම නොඉවසිල්ලකින්.... ඉතින් එදා ෆෝන් එක හම්බවෙච්ච වෙලාවෙම සිම් එක දාන පමාවට කට පාඩම් නම්බෙරේ ඩයල් උනහම මේ සිංදුව තමයි එහා පැත්තෙන් ඇහුනේ.... ඉතින් අදටත් මේ සිංදුව ඇහෙද්දි ඒ කාලේ ෆෝන් එක හම්බෙනකන් බලාගෙන හිටපු හැටි මතක් වෙනවා...
"මිරිඟුවක සිත තියලා...
නුඹ දුරක ඇඳුනා....
රංචු ගැහෙනා රෑනේ...
තනිකමක් දැනුනා..........."
13. කොළොම් තොට නැත මහලු වී...
අමරදේව මාස්ටර් ගේ සිංදු වලින් කැමතිම එක.... රම් බෝතලයක් හිස් කරලා ඉන්න කොට බොක්කෙන්ම බෝතලේට තට්ටුවක් දාන ගමන් කියන්න පුලුවන් සිංදුවක්.....
"කුඹ ගසක් උඩ නැවතිලා
සිනා තලමින් සඳේ
ඇයි සරදම්.......
බලං කැඩපත සොඳුරියේ....
කුමන අරුමද
නරකෙසක් පැහිලා......"
14. ගිමන් හරින දියඹ දිගේ...
බාචි කියන්නෙත් අමුතුම ආර්ටීස් කෙනෙක්.....අහල බලන්න මේ සිංදුව....
"හිරු රහසේ කියා දුන්න ආදරයද මේ..................."
15. අපි කතා නොකර ඉමු.....
ජානක වික්‍රමසිංහ ගායනා කරන මේ ගීතය අහන හැම වෙලේම පේරාදෙණිය මතක් වෙනවා......සුන්දර වගේම අසුන්දරම මතක හිරවෙලා තියෙන්නේ එතන තමයි...
"අපි ළංව බලන් හිඳිනා
එක මොහොතට
මල් පුසුඹක් සේ නුඹ දැනුනේ.....
මල් පුසුඹ සිඹින්නට...
මා නෙළූ මලේ
කෙලෙසද නෑවිත් ඉන්නේ....."
16. පුදසුනක නිසල බව....
දයාන් විතාරන ගායනා කරන මේ සිංදුව ඇහෙද්දිම සින්බෑඩ් ට ස්කොලේ කැඩෙට් ලයිෆ් එක මතක් වෙන්නේ ප්ලැටුන් එකේ හිටපු ජූනියර් කෙනෙක් ලස්සනට මේ සිංදුව ප්‍රසංගයක කියපූ අපූරුව......
"ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්......................"
*** මේ නම් එක සින්දුවක් නෙමෙයි...ඒත් රසවත් සිංදු කීපයක් ජනක ක්‍රිෂාන්ත ගේ හඩින්..... පාලු හුදකලා මොහොතක මේ එකතුව හිතට අගේටම වැදුන හින්දම ලිස්ට් එකට අදාල නැති උනත් මෙතනින් අමුණනවා.....
"අහස දම් ඇඳන් එන විට
මහ වැසි එන බව දනිම්......
පොළොව ඉරි තැලී එන විට
ඉඩෝරේ එන බව දනිම්...
ඔබ මුහුණ අඳුරු කරවයි.......................
කුමක් වේද මම නොදනිම්...
සිතා ගන්න මට බැරිවෙයි......"
තව සිංදු බුරුතු පිටින් ඔලුවට එන හින්දා මං ඇත්තටම අකමැතියි මේ චැලෙන්ජ් එක සිංදු දාසයකට සීමා වෙච්ච එක....තෝරගන්න අමාරු උන හැටියට අඩුම 20ක් වත් තිබුනනම් කියලා අන්තිමට හිතුනා...






