Saturday, April 8, 2017

වන් ෆෝ ලොක්... වන් ෆෝ අන්ලොක්....


"පොඩී......මොනවද ඔය හැටි  කණ්ණාඩියට ඇස් ගහන්නේ...."
"නෑ....නෑ....මේ......මං......"
"නෑ....මේ....මොනවද කියන්නේ උඹ.... හංදියට යනවා කියලා දැන් කීයේ ඉදන්ද කණ්ණාඩිය ඉස්සරහ....කලුවර වැටෙන්න ඉස්සැල්ලා ගොහිං වරෙන්....."
"හා...අම්මේ.....මේං මං ගියාවේ....."
අම්මගෙන් තවත් දෝස්මුරයක් එන්න ඉස්සැල්ලා මම වැට කඩුල්ල පාස් කරගෙන වැට අයිනෙන් පාතට බරවෙලා තිබ්බ කතුරුමුරුංගා දල්ලකට උඩ පැනලා ඩෑෂ් පාරකුත් ගහගෙන පාරට පැන්නා...
"අදනම් සාමාධි ට ඇහැක් ගහනවමයි........"
මගේ හිතේ තිබුනේ ඒ සිතිවිල්ල විතරමයි....නැත්තන් වෙනදා කටු කම්බි වැටෙන් එලියට පැනලා පාරට බරවෙලා තිබ්බ මඤ්ඤොක්ක කොලයක් නටුව අගින් කඩාගෙන දබර ඇගිල්ල වටේ කරකව කරකව කමාන්ඩෝ එකේ දුව බේරගන්න යන  ආනෝල්ඩ් ස්වසනේගර් වගේ ගැම්මට යන ගමන් පාරේ තිබ්බ ලොකු ලොකු බොරළු කැට වලට පයින් ගහ ගහ යන්න සිහියක්, ඉවසිල්ලක් මට තිබුනේ නෑ...... මට ඉක්මනට ඉක්මනට හන්දියේ බස් හෝල්ට් එකට ගිහින් පහයි කාල බස් එක අල්ලගන්න සිහිය විතරයි තිබුනේ..... ඒකේ තමයි හැම බදාදාම සමාධි පන්ති ඇරිලා එන්නේ.... සාමාධිව මතක් වෙද්දිම එන්නේ එයා ගාගෙන එන ගෝයා සීක්‍රට් සෙන්ට් එකේ සුවඳ....
... "ශීහි....තාම වචනයක් කතා කරන්න බැරි උනානේ....දැන් කී ගමනක් මේ වගේ ෆලෝ පාර දැම්මද....."
මට මං ගැනම කේන්තියට පාරේ තිබ්බ මෙටල් එකකට දුන්නා බනානා කික් එකක්....ටිකක් කකුල රිදුනත් මැටල් කෑල්ල ඈතට විසිවෙන හැටි දැකලා හිතට පොඩි කික් එකක් ආවා....
" අද නම් කොහොම හරි ටෝක ක් දාන්න ඕනේ..."
මම වීර පුරන් අප්පු වගේ වාතාවකාශය ටිකක් පපුවට අරගෙන පපුව ඉස්සරහට දාගත්තා....වැහි මන්දාරම් ගතියක් එක්කලා රොමැන්ටික් ක්ලය්මේට් එකක් මැවිලා තිබ්බේ....පාලුවට ගියපු ගුරු පාරේ මම විතරයි...මම පය ඉක්මන් කරද්දිම කකුළට මොකක්ද මංදා හරි තදේට හැප්පුනා.....
"මොන.....හු@%&*......"
මට කියවුනේ එකපාරටම...
ගල් උනත් ඔහොම්මමයි...අපි පයින් ගහන් නැති දවසට උන් ඇවිත් කකුලේ වදිනවා.....අයින් වෙලා පයින් යන්න දෙන්නෙම නෑනේ....
අසුහාරදාහට මල පැන්න මම බැලුවේ මොකක් ද මගේ පයේ හැප්පුනේ කියලා.......
"අම්මට බොල......පහණක් නේ......"
කියලා කට ගන්න හම්බුණේ නෑ... පහණ කෙලවරින් නිල් පාට දුම් පාරක් එලියට එන්න පටන් ගත්තා....

 සීතලට හිරියක් ඇඟ පුරා යද්දි මට කකුල් දෙක පණ නැතිවෙන්න වගේ ගත්තා...
"හහ්...හා.....හහ්....හා....හහ්...හා......"
ඔහොම සද්දයක් එද්දි මම දැනගත්තා බඩු පැකට් කියලා..... මුළු පාරම වහගෙන ඉස්සරහ හිටියේ නිල්ම නිල් පාට භූතයෙක්......
"ආයේමත්.......මොනාද බ්‍රෝ මේ කරන්නේ.....අහිංසක භූතයෙක්ට මේ වගේ ක්ලය්මේට් එකකදි පාඩුවේ වාඩි වෙලා ටීවී සීරිස් කෑල්ලක් බලන්න දෙන්නේ නෑ නේ....."
මං වටේට පාවෙන ගමන් ඇස් දෙක ලොකු කරං ඌ කියෙව්වේ පුදුම හිතේ අමාරුවකින්
කොණ්ඩේ ස්පෙන්සර් ගහගෙන ලස්සන පොයින්ට් එකක් තියං රැවුල උඩු අතට කරක කරක කරක හිටපු භූතය දැක්ක ගමන් මගේ බය ටිකක් අඩු උනා....මූ ටිකක් මොඩි ෆයි භුතයෙක් වගේ.....
" සොරි සොරි බ්‍රෝ....වැරදීමක් උනේ...."
මම තටම තටම වචන ගලපගත්තා....
"ඉට්ස් ඕකේ....ඉට්ස් ඕකේ.......එහෙනම් අපි මේක ඉක්මනට ඉවර කරමුද......"
ඒ පාර මෑන්ස් කීවේ අතේ බැදලා තිබ්බ ස්මාර්ට් වොච් එක දිහා බලාගෙන....
ඒ ටිකට නොටිෆිකේශන් දෙක තුනක්ම ආපු සද්දයක් ආවා.
"ඉවරයක්.........."
මම එහෙම ඇහුවට මන් දැනගෙන හිටියා මෑන්ස දැන් යන්නේ මට කැමති වරයක් දෙන්න කියලා.....එක්කෝ තුනක්... පොඩි කාලේ චිත්‍ර කතා  පත්තරේ "බෑග්ඩෑඩ් වල හොරා" කියවපු දවසේ ඉදන් හීන මවපු චාන්ස් එකක් මේ....
හැබැයි ඔය පහනවල් වලින් එලියට එන භූතයෝ දෙන වර වලින් ගොඩ ගිය එකෙක් නම් මට මතක් උනේ....නෑ.... මතකෙටටම ආවේ වෙන වෙන දේවල්......
" යා....යා බ්‍රෝ.....ගන්නකෝ මෙකෙන් ටෝකන් එකක්......"
මිනිහා කොහෙන්ද මංදා ජෑම් බෝතලයක් මවලා ගත්තා සෙනිකවම....නැවුම් බවේ සංකේතේ එන්න බර දාලා මුඩිය ගලවලා දික් කලා මා දිහාවට.....
මං ෆුල් අඤ්ඤකොරොස් උනා.....
කෙල ටිකක් අමාරුවෙන් ගිල ගනිපු මම
"මොනවද මේ භූත බ්‍රෝ..... වර දෙන ටෝකන් ද......"
මම ඒහෙම ඇහුවේ ජෑම් බෝතලේ බාගයක් විතර පිරිලා තිබුනේ එක එක පාට රවුම් ටෝකන්වලින් හින්ද.....
"වර..........හා....හා....හා.....,වර දෙන භූතයෝ කොහෙද බ්‍රෝ දැන්......මේවා සුපර් පවර්......චොයිස් ඉස් යුවා.....ඕසම් නෙහේ....."
"සුපර් පවර්..........."
මට ඉහළට ගත්ත හුස්ම ටික පාතට දාගන්න බැරි උනා... .එකපාරටම පොළවෙන් අඩි දෙක තුනක් පාවෙන්න ගත්තා....හිර කරගත්ත හුස්ම වලින් පපුව පිපිරෙන්න වගේ දැනුනම මම එකපාරටම හුස්ම පිටකලා....ආයේ පොළවට වැටුනා.....
" ෆ...ට්...ට...නේ.........!"
මට එකපාරටම කෑ ගැහුණා......ඇයි දෙයියනේ අම්මා මුත්තා කාලෙවත් අහලා තියේයෑ සුපර් පවර් දෙන භූතයෝ ගැන.....
" ගන්න ගන්න බ්‍රෝ.....ස්පයිඩර් මෑන් ට්‍රේලර් එක රීලිස් වෙලා තියෙන්නේ....ඉක්මනට බලන්න ඕනේ ......බයි ද වේ මේ පැත්තේ සිග්නල් නම් අන්තිමයි බ්‍රෝ.......කෝ තාම ෆ්‍රී වයි ෆයි හම්බුනේ නැද්ද...... "
"ඒවා නම් කතාකරලා වැඩක් නෑ භූත බ්‍රෝ.....අපිට හරියට ත්‍රීජීවත් නෑ අයිසේ......"
"ඕ ගන්නකෝ ටෝකන් එකක් ජම්පර් පවර් එක ලැබුනොත් මට ත් හෙල්ප් එකක් කරලා ඕනේ......මගේ පහණ සිග්නල් තියෙන කොහෙට හරි ගිහින් දාපං බ්‍රෝ......"
"එකෙන්ම....කෝකද ඒ ටෝකන් එක....."
මම ඇහැක් ගහන ගමන් ඇහුවා......
"චී...... බ්‍රෝ....මට එහෙම කියන්න බෑ.....ගන්නකෝ කැමති පාටක්......"
මිනිහා බල කරනම එකේ අමාරුවෙන් ඇඟිලි දෙකක් ජෑම් බෝතලේට දැම්ම මම  නිල් පාට ඩොට් වැටිච්ච සුදු පාට ටෝකන් එකක් අරගත්තා....ඒ තමයි සමාධිගේ ලස්සනම  ගවුමේ ඩිසයින් එක....  
එක දැක්ක ගමන් භූතයා හොල්මනක් දැක්කා වගේ බයවෙලා පස්ස්ට පැන්නා......
" මමී ගහයි බැට් එකෙන් කීවලු බ්‍රෝ....වන් ෆෝ ලොක් වන් ෆෝ අන්ලොක්.........."
ඒක කීපු ගමන්ම මාව නිකන් සීතලට ගල් ගැහිලා වගේ ගියා.......
"හෝව්.....හෝව් බ්‍රෝ.....පොඩ්ඩක් ඉන්න මං කැපෙනකං මෙතනින්.....ඔයාට දැන් සුපර් පවර් එක ලැබිලා තියෙන්නේ......."
"ෂා.... මරුනේ......මොනවගේ පවර් එකක් ද මට තියෙන්නේ......."
"එකක් ගැහුවොත් ලොක්........අනික ගැහුවොත් අන්ලොක්......."
"මොනවා ගැහුවොත් ද..... . "
මං දිහා අමුතු විදිහට බලපු භූතයා හීමිට දුං රැල්ලක් වෙලා පහණ අස්සට රිංගන්න ගත්තා.....
පේන හැටියට මට හම්බුන පවර් එකෙන් මිනිහා බය වෙලා හිටියේ.....ඒක තමයි පෙට්‍ර්ල් වැදිච්ච ගැරඩියා වගේ මාරු වෙන්න දගලන්නේ...
"අනේ බ්‍රෝ කියලා යන්නකෝ.......මොනවා ගැහුවොත් ද........"
"ඇස්.........."
අන්තිමට මට ලාවට වගේ ඒක ඇහුනා........
එකපාරටම ආතක් පාතක් නැති පුස් පැටියෙක් වගේ මම වට පිට බලන්න පටන් ගත්තා....බිම තිබ්බ පහන ගත්ත මම එකට දෙන්න පුලුවන් දස වද ටික ඔක්කොම දුන්නත් භූතයා නෙමෙයි ආයේ එලියට ආවේ...  ඕකනේ සනා බැරි අපි දෙබලක් උඩට නැග්ගොත් එකෙත් පුවක් ගහක් කියලා කියන්නේ කට කහනවටයැ....
කෝකටත් වෙලාව බලද්දි පහයි දහයයි...එකපාරටම ඔලුවට ආවේ සමාධි...දැන් ඉතින් බස් එක අල්ලන්න හුසෙන් බෝලට්ගේ රෙකෝඩ් දෙක තුනක් කඩන්න වෙනවා.....මම ගුරු පාර කෙළවර තිබ්බ කටු ගාලක පහණ හැංගුවා....මොකද මම කැමති නෑ අපේ ගමේ සුපිරි වීරයෝ තවත් ඉන්නවට....ඉන්නවනං ඉන්න ඕනේ මම විතරයි.....
"වන් ෆෝ ලොක්...වන් ෆෝ අන්ලොක්.....සෙද්ද තමයි....ජමපර් තියා ෆ්ලැශ් වත් වුනානම්....සුටුස් ගාලා බස් එක අල්ලගන්නවනේ....."
මට ම කියවුණා....හොද හුස්මක් අරගෙන මම ගුරු පාර දිගේ දුවන්න පටන් ගත්තා.....කොහොම හරි වෙරි වෙච්ච බල්ලෙක් වගේ කටෙන් සෙම දාගෙන මම බස් හෝල්ට් එකට සම්ප්‍රාප්ත වෙද්දි පහයි විස්සයි.... අහසේ දෙයියෝ නෑ කිවට ඉන්නවා වගේ....බස් එක අද  පරක්කුයි.... මම දනහිස් දෙකට අත තියාගෙන දෙකට නැමිලා හති අරින්න ගත්තා....බස් හෝල්ට් එකේ ඉන්න මිනිස්සු මා දිහාවේ බලුවේ පිටසක්වලින් ආපු එකෙක් දිහා බලන ගානට....අපි සැලෙයි ඕවට...කොහොම උනත් සුපිරි වීරයන්ට මුලුන්ම අම්බානට චාටර් කන්න වෙනවා....මම ටිකක් කෙලින් වෙලා ආඩම්බරයෙන් පැත්තක තිබ්බ බෝඩ් එකකට හේත්තු උනා....එතකොටම තමයි මම දැක්කේ එහා පැත්ත ගේට්ටුවේ දාලා තිබ්බ ලොකුම ලොකු ඉබ්බෙක්ව...... මේක මගේ පවර් එක ටෙස්ට් කරගන්න හොද වෙලාවක් නොවුනට අලුතින් සෙල්ලම් බඩුවක් ලැබිච්ච පොඩි එකෙක් වගේ මම කුතුහලයෙන් හිටියේ.....
ඉතින් මම පිස්සෙක්.... පිස්සෙක්... පිස්සෙක්.... වගේ මාරුවෙන් මාරුවට අර ඉබ්බා දිහා බලාගෙන ඇස් ගහන්න පටන් ගත්තා....
ගොරෙද්ද ඇද ඇද ලංගම බස් එක බස් හෝල්ට් එක ගාවට එද්දි මට සංසාරේ එපාවෙලා තිබ්බේ ඇස් ගහලම.....සේප්පු කඩන හොරෙක් වෙලා මගේ අනාගතය ජය ගන්න ගහල තිබ්බ ප්ලෑන් ඔක්කොම ඇස් පනාපිට කඩං වැටෙද්දි භූතයගේ අම්මා මුත්තා පරම්පරාවම මතක් කරගෙන මම බස් එකට නැග්ගා....
අසු හාරදාහට කේන්ති ගිහිල්ලා හිටියත් බස් එකේ හිටපු සමාධි ව දැක්ක විතරයි සීත ගගුලට පැන්නා වගේ මුලු ඇඟම සීතල වෙලා ගියා....
ඔන්න ඉතින මම රොමැන්ටික් මූඩ් එක ඔන් කරගෙන බස් එකේ හිටපු ජනකාය මතින් පීනගෙන වගේ එයා දිහාවට ඇදුණා.... අද එයාට ශීට් එකක් හම්බවෙලා ජනේලේ අයිනෙම....ඒ ළගම එයාගේ අතිජාත යෙහෙළිය වාඩි වෙලා හිටියා....මම ඉතින් සමාධි දිහාවේ බලාගෙනම සීට් එකේ ඇන්දකට හේත්තු වෙලා මනෝ ගහන්න පටන් ගත්තා.... ජනේලෙන් එලිය බලාගෙන හිටපු එයා එකපාරටම ඉස්සරහ බලනකොටම මම මගේ ඇස් දෙකෙන් එයාව අල්ලගත්තා.....මුලු මූණම රතූවුනේ එකපාරටම.... සිටිස් ගාලා එයා අහක බලාගත්තා....එයාගේ යාලුවටත් හිනා...කෙල්ල සිද්දිය බලං හිටියේ....ඉතින් ඊළඟ පැය බාගෙම විටින් විට රතු වෙන එයා දිහ බලාගෙන මම ඊළඟට කරන්න ඕනේ කතිකාව පෙළගස්ස ගස්ස හිතින් පුරුදු වෙවි මම මනෝ පාර ගහන්න පටං ගද්දි එයාගේ යාලුවත් විටින් විට මා දිහා බල බල සමාධි ට වැලමිටෙන් අනින්න පටන් ගත්තේ හිනා වෙවි....
ඉතින් හෙමින් හෙමින් ආපු බස් එක " ද හෝල්ට් " එකේ නතරවෙනකොටම එයා බහින්න ලෑස්ති වෙලා හිටියේ.... දිව කට වේලිලා...බය වෙලා...සිහිනැතිවෙන්න ඔන්න මෙන්න හිටපු මමත් ශරීරයේ තිබ්බ ඔක්කොම ගට්ස් එකතුකරගෙන එයා පස්සෙන්ම බහින්න රෙඩි උනා..
බස් එකෙන් බහිද්දිම කොහෙන්දෝ ආපු හුළං පාරක් එයාගේ තැඹිලි පාට ගවුමත් එක්ක සෙල්ලං කරනකොට මට නිකං පිස්සු වගේ දැනුණා.. බස් එකේ ෆුට් බෝඩ් එකේ ගල් වෙලා හිටියා මාව කරකවලා අතහැරලා බස් එක ඇද්දුවයිං මම එකපාරටම එලියට පැන්නා...වැඩ කැල්ලක් දාලා නොවැටි බේරුණ මං සිනේඩියන් සීඩෑන්ගේ හෙඩ් ගෝල් එක රැකගත්ත ඉතලි ගෝලි වගේ ගැම්මෙන් සාමාධි දිහා බලනකොටම එයා මං දිහා බලාගෙන....
හිත අස්සෙන් හරි බඩ අස්සෙන් හරි සමනල්ලූ පියාඹනවා කියන්නේ මේ ෆීලිං එකට වෙන්න ඇති....
ආයේ පාරක අපේ ඇස් එකපාරටම හම්බුණා...කල්ප කාලාන්තරයක් බලං හිටපු චාන්ස් එක මේක තමයි කියලා මටත් හොරෙන් ටිස් ගාලා ඇහැක් වැදුණා.....
කොහොම හරි මගේ ඒ බැල්මට සමාධි සෑහෙන්න කලබල උනා කියලා මට තේරුණේ එයා වැටෙන්න වගේ ගියාම....මම ජොන්ටි රෝස් උඩපන්දුවක් රැකගන්න පනිනවා වගේ පැනලා එයාව අල්ලගත්තා......
මගේ අත් දෙක අතරේ එයා වාරු උනහම රන්වීර සිං හුයි,ප්‍රියන්කා චොප්රයි
" තුනේ මාරි එන්ටීයාර දිල්මේ බජී ඝන්ටියාර.......පං...පං...පං...පං "" කියාගෙන අපි දෙන්නා වටේ නටන්න පටන් ගත්තේ මාව අමුතුම ලෝකේකට එක්කගෙන ගෙනහින්.....
කොහොම හරි උන් දෙන්නා නටලා ඉවරවෙනකංම මට සිහි එලවා ගන්න බැරි උනත් සාමාධිත් හැල හොල්මනක් නැතුව මගේ දිහාවම බලං ඉන්නකොට තමයි මම කොහේහරි ශෝට් සර්කිට් එකක් තියෙයි කියලා හිතුනේ....
" සමාධි........."
මම හීමීට වචන ගැලපුවා....
සද්දයක් නෑ.....මගේ ඇස් දෙකට කෙල්ල වසී වෙලාවත්ද.....
" සමාධි......."
සද්දයක් වත් නෑ....කෙල්ල ගල් වෙලා වගේ..... එතකොටම තමයි මට කුරිරු සත්‍ය අවබෝධ උනේ....
" වන් ෆෝ ලොක්.... වන් ෆෝ අන්ලොක්....."
කෙල්ල ලොක් වෙලා....ඒ කියන්නේ අතපය අඟුලු වැටිලා...ගල් වෙලා.....
මම සෙනිකවම අනෙක් ඇහෙන් ඇහැක් ගැහුවා......
ඒ ටිකට එකපාර සිහිඑලවා ගත්ත සමාධි මගේ තුරුලෙන් අහකට පැන්නා....
" මට මොකද උනේ......." එයා බයවෙලා ඇහුවේ....
" ඔයා වැටෙන්න ගියා...මම අල්ලගත්තා... සොරි ඔයාව බය කලානම්....."
"නෑ...නෑ.......මට එකපාර මොකක්ද උනා...........ඉට්ස් ඕකේ තැන්ක්ස්...."
එයා අවුල් වෙලා තිබ්බ කෙස් කැරළි හදන ගමන් කීවේ ලැජ්ජාවෙන් උපරිම රතු වෙලා....
එයා හීමිට මම දිහා අමුතුම විදිහට බලලා  අනෙක් පැත්තට යන්න පටන් ගත්තා....මොන හේතුවකටද මංදා පල්සර් වන් තර්ටි ෆයිව් එකේ සද්දේ වගේ මගේ හාට් එකට්ග් සිටි සිටි ගාලා සද්දෙට වැඩ.....
ටික දුරක් ගියපු එයා හිමීට හැරිලා හිටපු තැනමටම වෙලා බලං ඉන්න මම දිහා බලලා හිනාවක් දැම්මා......
.
"අම්මෝ.............!!!!"
මගේ බඩත් එක්ක කොර වෙලා ගියා ඒ පාර......
උඩ පැනලා හුරේ පාරක් දාපු මම පාරේ අනිත් පැත්තට පැන්නා....

##############

ඊලඟ බස් එකේ නැඟලා ගෙදර එනකං මට හම්බුණ කීපදෙනෙක්ටම ඇස් ගහලා මගේ බලය ගැන හොද එක්ස්පීරියන්ස් ටිකක් ගන්න මට පුලුවන් උනා.....ඇත්තටම ඒක මහ ලේසි වැඩක්. වම් ඇහැ ගහපු ගමන් ඕන කෙනෙක් ලොක් වෙනවා....ආයේ දකුණු ඇහැ ගහනකං නෝ හෙල්ලුම්... බස් එකේ කොන්දා සල්ලි ඉල්ලන්න ආපුවම ගැහුවා ඇහැක්.......මිනිහා මන් දිහා බලාගෙනම ගල් උනා.....ආයේ බහින්න ලං වෙලා මිනිහට ඇහැක් ගහලා ප්‍රකෘති තත්වයට පත් කරම මිනිහා කොච්චර බය උනාද කියනවනම් මිනිහා ම මට සල්ලි දෙන්න හැදුවා......
ඉතින් පුදුම ලල් එකෙන් මම බහිද්දිම තමයි ට්‍රැෆික් බයික් එක නවත්තලා තියෙනවා දැක්කේ... පුස් සයිකලෙන් යද්දි මාව අල්ලං ලයිසං ඉල්ලපු ඔය ට්‍රැෆික් කාරයා දකිද්දි මට අසුහාරදාහට මල පනින එකේ...අද දෙන්නම් කියලා මම මිනිහා ගාවට කිට්ටු උනා....
" ඒයි......මූකලං බස්සා......"
මම බුදු ගැම්මක් අරගෙන මිනිහට කෑගැහුවා....
මේ හැන්දෑ යාමෙත් ටර්මිනේටර් වගේ සඟ ක් දාගෙන හිටපු ඩයල් එකට පුදුම හිතෙන්න ඇති මම එහෙම ටෝක් කරනකොට....
මිනිහා සන්ග්ලාස් දෙක ගලවලා මං දිහා බැලුවා....
" මොකද මූසලයෝ තෝ බලන්නේ.....ඉදපං තොට......"
එහෙම කියන ගමන් මම ගැහුවා ඇහැක්.... මිනිහා ගල්.....
හම්මේ  මට දැනුණු ලල් එක..... මිනිහාගේ සන්ග්ලාස් දෙකත් උදුර ගත්ත මම ගෙවල් පාරට හැරුණා....
මිනිහව අන්ලොක් කරන්න මට පිස්සුයෑ.......
ගෙදර වැට කඩුල්ල පාස් කරන්න හදනකොටම එහා ගෙදර වල්සේසං බලු තඩියා හැමදාම වගේ මට කෝචොක් එකට බුරන්න ගත්තේ ඉනි වැට අස්සෙන් හොම්බ දාගෙන....ඌ හිතන් ඉන්නේ මේ වත්තත් උන්ගේ කියලා...
අද දෙන්නං කෑම කියලා මං ඌ දිහා බලලා ගැහුවා ඇහැක්....... බල්ලා ලොක්.......
ආයේ එතනින් යන්නත් හදලා කමක් නෑ මූ බල්ලනේ කියලා අනෙක් ඇහැත් ගහලා අන්ලොක් කරා.....  බල්ලා සිටිස් ගාලා එතනින් මාරු උනේ නැට්ටත් පිටිපස්සේ ගහගෙන....ඌ නම් ආයේ එන්නේ නෑ...
මම ගෙට ගොඩවුණා.....
" ඕං එන වෙලාව....මං උඹට කී ගමනක් කියලා තියේද කැලුවර වැටෙන්න කලින් ගෙදර එන්න කියලා..... අප්පච්චි එන්න ඉස්සැල්ලා....වෙලාවට අදත් මේ මනුස්සයා පරක්කුයි......උඹ දන්නවනේ අප්පච්චිට උඹේ ඔය රස්තියාදු ගැහිල්ල පේන්න බෑ කියලා....."
අම්මගේ දෝස් මුරයට මට කේන්ති ගියේ නෑ.....
මම හිනාවෙලා අම්මව බදාගත්තා.....
"අම්මේ වන් ෆෝ ලොක් වන් ෆෝ අන්ලොක්....."
"ඒ ගමන මොකද උඹට වෙලා තියෙන්නේ ඉංගිරිසි දොඩවන්නේ....."
අම්මත් පුදුම වෙලා එහෙම කීවා.....
" හා...හා....අප්පච්චි එන්න ඉස්සැල්ලා අර පොල් ගෙඩිය ලෙලි ගහලා දීපං මෙතන බොරුවට හුරතල් වෙන්නේ නැතුව......."
අම්මා එහෙම කීවෙං ටික වෙලාවකින් සුපිරි වීරයා පොල් ලෙලි ගහන්න පටන් ගත්තා.....
පොල් ගෙඩි පහකුත් ලෙලි ගහලා ඇඟ ටිකකුත් හොදගෙන ගේ ඇතුලට එද්දි අප්පච්චි ඇවිත්.....
"ඔව්...ඔව්...දිස්ටියක් තමයි......"
ඒ අප්පච්චි....
" අනේ දෙයියනේ රටකට වෙන විනාසේ...... පාරක තොටක බැහැලා යන්නත් බයයි දෙයියනේ......"
ඒ අම්මා.....
" මේ හොදට හිටපු සාජන් මහත්තයාලු....කිසිම හැල හොල්මනක් නෑ.... කතා බහක් නෑ....මහසෝනා දැක්කා වගේ බයවෙලා ගල් ගැහිලා සීමන්ගේ කඩේ ඉස්සරහ බයික් එකත් එතනමයි......"
" ඉතින් අප්පේ......"
"මිනිස්සු වට වෙලා බලං ඉන්නවා.....පස්සේ කවුරු හරි පොලිසීයට කෝල් කලා....ජිප් එක ඇවිත් දාගෙන ගියා ඉස්පිරිතාලෙට......"
" ඔය කියද්දි මතක් උනේ උක්කුවගේ ලොකු කෙලි කොස් ගහෙන් වැටිලානේ.... කොන්දම කැඩිලා......"
" ඒ මක්කෙයි......"
" ඔය ලොකු එකී කිසි කමකට නෑ ගස් බඩ ගාන්න යන්න ඇති....හැබැයි මහ උන්දනං කියන්නේ එකපාරටම ඉරිදි උනා වගේ පා වෙලා අහසට ගියා කියලා.....ඊට පස්සේ කොස් ගහේ හැප්පුණාලු......"
" මොකක්........."
" කවුද ඉතින් මහ උනදෑ කියන ඒවා විස්වාස කොරන්නේ......පිස්සු හටනක්නේ......."
"කෝකටත් හැන්දෑ යාමේ පොඩීට රස්තියාදු ගහන්න එහෙම යන්න දෙන්න එපා....මේවා මහ නරක කාල.....අපොයි දෙයියනේ රටකට ගිය කලක්....."
අප්පච්චි ඒ ටිකනම් කීවේ කලමකිරිලා
"රටේ නායකයොන්ගේ වැරදි තමයි ඕවා....."
කතාව වෙනම පැත්තකට යන හින්දා මම කාමරේට ආව......
එතකොට තමයි මට පහණ ගැන ඔලුවට ආවේ.....හෙට උදෙන්ම ගිහින් ඕක කොහේ හරි හංගන්න ඕනේ..... කමලා නංගීට තමයි එහෙනම් මට කලින් සුපර් පවර් හම්බවෙලා තියෙන්නේ.......කොන්ද කඩාගෙන තියෙන්නේ සුපර් ග'ල් වගේ උඩින් යන්න ගිහින්.....
සී........එකට මගේ පවර් එක.......
දාහෙන් සම්පතයි.....
කණ්නාඩිය ඉස්සරහට ගිහින් මම හීමීට කොණ්ඩේ අවුස්සගත්තා....
එකපාරටම සමාධි මතක් උනා.....හම්මේ කෙල්ල අන්තිමට හැරිලා යද්දි බලපු බැල්ම......ඕම් ශාන්ති ඕම් එකේ ශාන්ති වගෙ.....
ආයේ හම්බුන ගමන් මෙන්න මෙහෙම ඇහැක් ගහන්න ඕනේ....කියලා මම කණ්ණාඩියෙන් පේන මට සිටිස් ගාලා ඇහැක් ගැහුවා...............
#######################

අනේ දෙයියනේ මේ මොන නස්පැත්තියක්ද දෙයි හාමුදුරුවනේ.......ලොකු පුතේ....ලොකු පුතේ.....මෙන්න මල්ලී කණ්ණාඩිය ඉස්සරහ ගල්වෙලා පුතේ.....

,
,
,
ඉවරයි කතාව බොලව්..........

6 comments:

  1. මේක පට්ටයි .. මරු කතාව
    මේ මම කතාවෙන් හොයාගත්ත එක

    //"කල්ප " කාලාන්තරයක් බලං හිටපු චාන්ස් එක මේක තමයි ...... :D :D

    ReplyDelete
    Replies
    1. ඒකම හොයාගත්තනේ......ඔව්...ඔව්...එහෙමයිකියලා හිතාගන්නකෝ....

      Delete
  2. මේ කතාව නම් මරු අප්පා! සුපිරි කියන්නෙ කතා දෙකක් නෑ...

    ReplyDelete

මරීනයි මායි...

මරීනයි මායි...