Thursday, October 5, 2017

දිනපොත 24



උදේ ඇහැරෙද්දි නමයයි.... පාන්දර තුනට නිදා ගත්තහම කොහොමත් පැය හය කවර් කරගන්න හම්බවෙන්නේ ඉරිදට විතරනේ.ඇදේ ඉදන්ම මම් කල්පනා කලේ අද දවස විනාස කරගන්නේ කෝමද කියලා...එකපාරටම ඔලුවට ආවේ චායා හෝල් එකට අලුතෙන් ආපු ධනුශ් ගේ ෆිල්ම් එක... ඇදෙන් බැස්සා නෙමෙයි විසිවුණා කීවොත් හරි... වේල ඉල්ලෙයි... පට්ටදාරී...
කියාගෙන ඉක්මනට මුණට වතුර ඩිංගක් එන්න ගියත් මුණ හෝදං දත්ටික මැදගෙන එද්දි නමයයි කාලයි... මේ වහින දවස් වල උදේ පාන්දර නාන්න පිස්සුයෑ.. ඩෙනිමකුයි ටී එකකුයි ගහගත්ත මම ඉක්මනට පාරට බැස්සේ ෆිල්ම් එක බලන්න යන්න... තව කවුරු හරි හිටියනං ශෝක් තමයි ඒත් මේ හදිස්සියේ අඩගහගෙන යන්න එකෙක් නැති විත්තිය දන්න එකේ මං පාඩුවේ හිටියා... පාරට එද්දිම නමය හමාරයි, දුමක්වත් දාන්න වෙලාවක් නෑ... වෙලාව කියන්නේ බස් හෝල්ට් එකට ආවත් හරි බස් එකක් නෑ කෑගල්ලට යන්න... මල පැනලා බස් හෝල්ට් එකේ බිත්තියට පයිං ගගහ ඉද්දි තමයි රෝසා බස් එකක් කොට කොට අවිත් නැවත්තුවේ....
.
"ශිට්... අද ගිහින් හමාරයි...."
.
මම මටම කියාගෙන බස් එකට ගොඩ උනා... දැං දහය හමාරට හෝල් එකට යන්නනම් මටම මේක එලවන්න වෙනවා... කමක් නෑ බස් එකේ පිටිපසේම පොඩි ඉඩක් තියෙනවා... මනෝ පාරක් ගහගෙන යන්න පුලුවන්නේ කියලා හිත හදාගෙන මම ඒ සීට් එකට බර වුණා...
.
බස් එකේ ජනේලේ අයිනේ තරම් මනෝ ගහන්න හොද තැනක් ආයේ කොහේවත් නෑ... විනාඩි හතලිස් පහක් කියන්නේ දෘෂ්ථි විතානයේ තැන්පත්වෙන වේගයෙන් චලනය වෙන සිටුවේශන් සිය ගානක්. ඒ හැම දෙයක්ම කිසිම හැගීමක් නැතුව බලාගෙන වෙනම දෙයක් හිතන එක වෙනමම භාවනාවක්, හුගක්ම විට පිස්සන්ට විතරක් කරන්න පුලුවන්...
.
තාම බස් එක ඇද්දුවේ නෑ... හෝල්ට් එකට කපල් එකක් , කොල්ලගේ අත අල්ලං හිටපු චූටී නංගී කෙනෙක් බයෙන් වගේ වට පිට බලනවා... අතීතස්මරණ දෝර ගලාගෙන හිත ට එනකොට නවත්තන්න බෑ... කාලෙකට ඉස්සර කියවපු Indunil Sindu ගේ කවියක් ඔලුවට ආවේ එකපාරටම
.
"අස්වැන්න පීදිලා
හිත ගාව කකියමින්
නෙත් හෙළා නොහෙළා හිනාවෙන
පුන්චි මල් කැකුළක්
.
ඉස්සිලා තටුගසා හකුලා
ගස්සලා අස්සෙන්
ඉඟිමරා නටනා දෙනෙත් අග
ආදරේ හංගං
ජීවිතේ අහුලා හොයාදෙන
අමතකව ගිය තක්
නංගියේ නුඹෙ සෙනෙහෙ ළඟ
තාම මං කොල්ලෙක්
.
ජිවිතේ හිඳිලා පතුල්වල
ගිලෙන්නට මත්තෙන්
වේලීලා පණ අඳින හිතකට
ගැල්ලුවත් ඔසු පැන්
ආදරේ සහතිකම ඉල්ලන
ලෝකයෙන් හංඟං
යන්නේ කොයිබඳ නංගියේ
දැන්ම මට කියපං....."
.
එකපාරටම මනෝ ලෝකේ කෑලි කරගෙන මට එහා පැත්තේ වාඩිවෙලා හිටපු ඇන්ටි අතේ තිබ්බ කුඩෙන් බඩටත් ඇනගෙන නැගිටලා යන්න හදනවා... මෙච්චර ළගින් බහිනවා නම් මොන මගුලට මෙතන වාඩි වෙන්න ආවද කියලා හිතෙන්ම දෙහි කප කප මම මම ආයෙත් ජනේලෙන් එපිට බලන්න හැදුවා විතරයි......
.
මම එකපාරටම දැක්කේ හීන් ගලක් අල්ලපු කරාබුවක් දාපු කන් පෙත්තක් විතරයි...
ටිකක් හරි බරි ගැහිලා වාඩි උන මම රබර් ඇහැ ගලවලා ඉස්සරහට විසි කරලම දැම්මා.... බැහැලා යන්න හදන ඇන්ටිගේ සද්දන්ත සරීරේට වහං වෙලා හිටිය එයාව හරියටම මම දැක්කේ එතකොට...
.
ලාවට ක්‍රේල් වෙච්ච කොණ්ඩයක්... තැනින් තැන ලාවට රත්තරං පාටින් දිලිසෙන කොණ්ඩ කැරලී කීපයක්... මූණට වැටෙන අකීකරු කැරලි කීපයක් හීනි ඇඟිලි කීපයකින් ඉස්පාසුවක් නැතුව අර ලස්සන කන් පෙත්ත අස්සේ හංගන්න හදන කෙල්ලෙක්... රෝස පාට කාටුන් ටී ෂර්ට් එකක් ටිකක් ලොකු.. දිගම දිග කැරළි ගැහුණු කොළ පාට සායක්... අඳුරු කොළ පාට ලොකු බෑග් එකක් එක අතකින් එල්ලගෙන බස් එකේ අමාරුවෙන් එල්ලිලා ඉන්න හැටි... තත්පර කීපයකට මුළු හදවතම නැවතුණා කීවොත් හරි....
.
ඊළගට ගත්ත හුස්මත් එක්ක විසි තුන් වෙනි කස් එකෙත් අවසාන මතක චායාවන් ඔක්කොම කැටිකරලා මම ජනේලෙන් එලියට පිටකරා...
කොහොම උනත් මේකනම් මහ අමුතුම දවසක්. ලස්සන කෙල්ලෙක් මං ඉස්සරහ හිටගෙන ඉන්නවා මං ළගම වාඩිවෙන්න සීට් එකක් තියෙනවා.. මෙච්චර වෙලා දෙහි කපපු ඇන්ටිට මං පින් දෙන්න ගත්තේ මෙතනින් බැහැලා ගියාට... මම තව ටිකක් සීටි එකේ කෙළවරට වෙලා හිස් ආසනේ වර්ගඵලය වැඩිකරලා එයා දිහා බැලුවා... කෙල්ල සිට් එක දිහා ආසවෙනුත් මං දිහා අකමැත්තෙනුත් බැලුවා.... එතකොටම හිමව්ව හොටෙල් එක ළඟින් ඩ්‍රැවා වැලමිට වංගුව අත් දෙකෙන්ම බර කරලා කපලා ගත්ත විදිහට එහාට මෙහාට විසි වුණ එයා එතනින් වාඩිවෙන්න හිතාගත්ත බවක් මුණෙන් පෙණුන හින්දද කොහෙද මට හිනාවක් ගියා... මම එහෙම්ම එයාට වාඩිවෙන්න කියලා ඔලුවෙන් සිග්නල් එකක් දුන්නා....
.
අන්තිමේදි අඳුරු කොළපාට ලොකු හෑන්ඩ් බෑග් එක අත් දෙකෙන්ම තුරුල කරගත්ත එයා පුලුවන් තරම් මගෙන් ඈතට වෙන්න වාඩිවෙන්න ට්‍රයි කරගෙන ඉඳගත්තත් එයාගේ අතක පහස විදින්න මගේ අතක් වාසනාවන්ත වුණා... පුදුම හිතෙන සුවදක් ඇති පර්ෆියුම් එකක සුවද විදගන්න මගේ නාස් පුඩු පින් කරලා තිබුණා...
.
මම හොරෙන් එයාගේ පිරිලා තිබ්බ කම්මුල් දිහා බැලුවා... ඒත් මගේ හිත නවතුනේ ආයෙමත් ඒ කන් පෙත්ත ළඟ....කන පිටිපස්සේ රුවා ගෙන තිබ්බ කෙස් කැරළි ටික ලිහිල් වෙලා ආයේ මුණට වැටුනේ එයා ඔලුව ටිකක් ගස්සපු හින්දා.. සමහර විට මං බලන නිසාමද දන්නේ නෑ... නපුරු කෙල්ලෙක්....
මට තරහ ගන්න ඕනේ උනත් තරහ ගියේ නෑ.... වැටුණු කෙස් කැරළි කීපයෙන් සම්පුර්ණ වම් පැත්ත මුහුණ කවර් උන එකෙන් මට ඉස්සරහට ම නැමිලා මිසක් ආයේ එයාගේ මුණ බලන්න බැරි තත්වයක් තිබ්බේ....මං හිමීට අනෙත් පැත්ත බලාගත්තා....
.
මේකත් වෙනදා වගේම වෙයිද...? මට හිතුණා...එයා ඒ පැත්ත බලාගෙන මනෝ ගහයි...මම මේ පැත්ත බලාගෙන සයිකෝ ගහයි... අපි දෙන්නා අත් අල්ලගෙන රවුම් ගහයි....හොද ලෝකේශන් ටිකක තනි වෙයි... හන්තානේ නඟින අතරේ තුරුල් කරගෙන ඒ කන් පෙත්ත කිති කවයි... ඊළග හෝල්ට් එකෙන් එයා බැහැලා යයි... එතකොට මනෝ පාර කැඩිලා යයි.... මම ෆිල්ම් එක බලන්න යයි... දවස් දෙකක් මතක තියෙයි... ඊට පස්සේ අමතක වෙයි... හැමදාම වෙනවා වගේ...
.
"පොඩ්ඩක් කතා කරපං යකෝ........."
.
ඒ හිත අස්සෙං කව්ද මංදා කෑගහනවා..... මම නෑහුන ගානට ජනේලයෙන් එලිය බැලුවා... පින්නවල අලි අනාථාගාරය පාස් වෙනවා.... ඩ්‍රැවා හැටට හැටේ පාගනවා.....
.
"හිමින් පලයං යකෝ...."
.
මං මටම කියාගත්තා......
ආයෙත් හුස්මක් ගත්ත මම එයා දිහා බැලුවා.... ඒ ටිකට එයා ආයේ අර අකීකරු කොණ්ඩ කැරළි ටික එහා මෙහා කරපු හින්දා ඒ ලස්සන මුණ බලන්න ආයෙත් මට පුලුවන් උනා....කෙළ උගුරක් ගිලපු මම කතා කරන්න හැදුවා විතරයි....
.
හෙන සද්දෙට එයාගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා... එක මහ ෆනී රිගින් ටෝන් එකක් හින්දා මට ආයෙමත් හිනාවක් ගියා.... ඒක දැක්ක එයා නපුරු රැවිල්ලකින් මාව මරන්න වගේ බල්ලා ෆෝන් එක කනේ ගහගත්තා....
.
"ඔව්....ඔව්...."
"බස් එකේ....... තව පැය බාගයක්....."
"හරි කොළඹ හෝල්ට් එක ගාව ඉන්න...."
"හරී......තියනවෝ...... බායි........"
.
කතා කලේ කෙල්ලෙක්.... ලාවට ඇහුණ විදිහට....කොළඹ හොල්ට් එකෙන් බහිනවා කියන්නේ...කෝම හරි ඊට ඉස්සැල්ලා නම්බරේ දෙන්න ඕනේ.... මම හිතෙන් ප්ලෑන් කරා....
.
"නම්බරේ දෙන්න ඉස්සැල්ලා කතා කරපං පොඩ්ඩක්...."
හිත අස්සෙන් කෑ ගහනවා උනත් එහෙම අවදානම් වැඩ කරන්න හයියක් තනියෙං ඉද්දි විශේෂයෙන් මේ වගේ කෙල්ලෙක් ඉද්දි කෝමත් බෑ... මම හිතට කිව්වා.....
අනික කොහොමද කතා බහ පටන් ගන්නේ....
.
"අද හොද දවසක් මැරෙන්න....."
.
රෝබින් හුඩ් එකේ ලිට්ල් ජෝන් හැමවෙලාවේම කියනවා වගේ ඒ දෙබසවත් කියනවද.... ඔය වෙලාවට තමයි වචන කියන ඒවත් එක්ක පුදුම තරහවක් එන්නේ... ඇත්තට අපිට ටෙලිපතිවත් පුලුවන්නම්... ඔහොම අනං මනං හිත හිත ඉන්නකොට තමයි එයා මං දිහා බැලුවේ... කටත් ඇරගෙන එයා දිහා කන්න වගේ බලං ඉන්න බව මට මතක් වෙද්දි දැනුණු ලැජ්ජාව අකුරු වලින් කියන්න බෑ.... මම ලැජ්ජාවෙන් අන්දොස් වෙලා අහක බලාගන්න හැදුවත් ඒ නෝක්කාඩු ඇස් දෙකෙන් මාව පුදුම විදිහට වශී කරගෙන තිබුණේ.....
.
"මොකෝ......"
.
හම්මට සිරි එයා මොනවද ඇහුවා කියහංකො....මම තාම එයාගේ ඇස් වලින් ගිණිකන වැටිලා තිබ්බේ....
.
"නෑ...මේ....ම...ම..... මුකුත්....නෑ...
.
අද.... හොඳ දවසක්..... මැරෙන්න....."

තටම තටම මම මොනවද කීවා.... එකපාරටම නළල රැලි කරපු එයාගේ හිනාව මගේ ඇස් දෙක ලඟම පිපිරුවා..... හම්මේ ඒ හිනාව... කොහෙන්ද මංදා පටන් ගත්ත වෙව්ලීමක් ඇඟ පුරා ගියේ ඇයිද මං දන්නේ නෑ....
.
"පිස්සෙක්...."

එයා හිමීට මුමුණගෙන අනිත් පැත්ත බලාගත්තා......
මම ජනේලයෙන් එහා පැත්ත බැලුවත් මට බස් එක පහුකරගෙන යන කිසිම දෙයක් පෙනුනේ නෑ... හැමතැනම ඉදන් අර පිපුරුණු හිනාව විතරයි මම දැක්කේ.... ඊට පස්සේ කීප ගමනක්ම පුරුෂ ශක්තිය කොහෙන්දෝ එකතු කරගෙන එයා දිහා හොරෙන් බැලුවත් ඒ හැම වෙලාවේම එයා අහක බලාගෙන හිටියේ... බස් එකත් හැට ට හැටේ පාගන්න ගත්තේ ඉස්සරහින් ගිය සී ටී බී එක දැකලා.... කරඬුපන පාස් වෙනකොටම ගැම්මක් ගත්ත මම එයාව පොඩ්ඩක් තල්ලු කරගෙන නැගිට්ටා... එයා දිහා බලන්නෙවත් නැතුව ටිකක් දොර ගාවට කිට්ටු කරපු මට පොත් ටිකකුත් අරගෙන ක්ලාස් යන්න යන කොල්ලෙක් දැකලා හොද අයිඩියා එකක් ආවා.... මිනිහා ළග තිබ්බ හිස් සීට් එකට බර වුණු මම කොළ කෑල්ලකුයි පෑනකුයි ඉල්ලගෙන මගේ නම්බරේ ලීවා..... කෙල්ලෙක්ට නම්බරයක් දෙන්නේ අවුරුදු කීයකට පස්සෙද.... මට එකපාරම හිනාවක් ගියා.... එයාදිහා ආපහු බලද්දි මම හිටපු සීට් එකට බරවෙලා ජනේලෙන් එලිය බලාගෙන ලොකු කල්පනාවක.....
.
බස් එක මීපිටිය කන්ද නැගගෙන අන්තිමේදි කෑගල්ල පොලිසිය ගාව නතර වුණ ගමන් මම එතනින් බැහැ ගත්තා... බස් එක අද්දනකොටම අන්තිම ජනේලේ එල්ලිලා හිටපු එයාට ඇහැක් ගහන ගමන් නම්බර් එක විසි කරන්න මම දෙපාරක් හිතුවේ නෑ...... මාව පහුකරගෙන යන බස් එකෙන් උණ්ඩි කරපු කොළ කෑල්ල ආයේ එලියට විහික් වෙයි කියලා මට සෑහෙන විශ්වාසයක් තිබ්බ හින්දම ඒ මොහොත ස්ලොමෝෂන් සීන් එකක වගේ හරියට හෙමීට ගියේ...ඒත් බස් එක පල්ලමටම යනකං කොළ කෑල්ල එලියට විසික් උනේ නෑ.....
.
"යෑස්......"
.
මම මටම කියාගත්තා.... හෝල් එකට දැන් මීටර් හයසීයකට වැඩිය අව්වේ ඇවිදිල්ලක් තිබුණත් ඒ ඇවිදින හැම මොහොතක්ම මේ වෑයමේ මතක සටහන් නිසා මම ඒවාත් එක්කම තනි වෙලා ඉස්සරහට යන්න පටන් ගත්තා.....
.
################
.
කතාව මෙතනින් ඉවර නොවේවා යැයි පතන්න ෆෙරෙන්ඩ්ස්........

No comments:

Post a Comment

මරීනයි මායි...

මරීනයි මායි...