රස්තියාදුකාරයාගේ කතාව...




හන්දියට හුඟ කාලෙකින් ආපු නැති හින්දා රස්තියාදුකාරයාට ඒක නිකං නුපුරුදු තැනක් වගේ වූනා…

එත් වෙනදා වගේම බොක්කු කට උඩ වාඩිවෙලා මිනිහා කකුල් දෙක පාතට දාලා හීමිට සංසුං වුනා….
මිනිහට දැන් විසිඅටක්…. තරුණ කාලේ ගෙවිලා යන ඉක්මන… මිනිහට හිතුනා…
ඇත්තටම මිනිහා මේ දවස් වල සැහෙන ප්‍රශ්න ගොඩක ඉන්නේ… ඔය ප්‍රශ්න වලට මුල මොකක්ද කියලා මිනිහම කල්පනා කලා….. වටපිට බලපු මිනිහා හීමිට බීඩියක් පත්තු කරගත්තා….. ඇත්තට ගෙදරදී බීඩි බිවට එලිපහලියේ මිනිහා බීඩි බොන්නේ නෑ…. මිනිස්සු හිතන්නෙ මුට සිගරැට් එකක්වත් බොන්න සල්ලී නෑ…. බීඩි බිබි රස්තියාදු ගහනවා කියලා…
එත් සිගරැට්ම කියලා දවසට කියක් බොන්නද ……
බීඩි ගහන ප්‍රමාණයට සිගරැට් බොන්න නම් ලොතරැයියක්වත් ඇදෙන්න ඕනේ….

හුරුපුරුදු බයික් සද්දයක් ඇහිලා….මිනිහා පාර දිහා බැලුවා….

“අම්ම…ට .. සුද්දා…”

මිනිහට කියවුනා…
බයික් එකේ වේගේ බොක්කුව ගාවදී අඩුවෙලා…. ආපහු රේස් වුනා …. සුද්දා රස්තියාදුකාරයාව දැකලා එතනින් වීදලා ගියේ…
රස්තියාදුකාරයාට එක පාර ලොකු හීනාවක් මුණට ආවා…
එත් උගේ බඩ පපුව පිච්චිලා ගියා කියලා ඌ විතරයි දන්නේ… ඇත්ත්ටම සුද්දා දකින දකින වෙලාවට උගේ පපුව පිච්චෙනවා කියලා කාටවත් හිතුනේ නැත්තේ ඌ හොඳ නලුවෙක් හින්දා… හැබැයි ඔය සුද්දගෙයි මෑන්ගෙයි අවුල සුල මුල කවුරුත්ම දන්නේ නෑ… සමහර විට සුද්දවත් හරිම කතන්දරය දන්නේ නැතුව ඇති…..

ආයෙත් හරි බරි ගැහිලා බොක්කුවේ වාඩිවුන රස්තියාදුකාරයා හීමිට කකුල් දෙක වනන්න ගත්තා…ඉර ගිලෙනවා… අහස රතුපාටයි… අමුතුම ලස්සනක් තියෙන්නේ… ඇත්තට මේ බොක්කු කට උඩ ඒ කාලේ කොල්ලො කී දෙනෙක් රස්තියාදු ගැහුවද… දැං…… මං විතරයි…. මෑන්ට හිතුනා…
දොල පාරේ වතුර වැඩීවෙලා… එත් කකුල් දෙකේ වදින්නේ නෑ… තව ටිකකින් හැමදෙයක්ම නොපෙනී යනවා කියලා මිනිහා දන්නවා… එතකොට තියෙන්නේ රැහැයියන්ගේ සද්දෙයි, දොලපාරේ සද්දේයි විතරයි තනියට…..

වෙනදෙයක් හිතන්න හැදුවත් මෑන්ගේ ඔලුවට එන්නෙම සුද්දා බයික් එක රේස් කරපු සද්දේ…. ඕක කාවදා කෙලවර වෙයිද දන්නේ නෑ… මේ දැං වුනත් සුද්දත් එක්ක සමාදාන වෙලා ඌත් එක්කෙ කරට අත දාගෙන බීඩියක් බොන්න රස්තියාදුකාරයාට පුදුම අසාවක් තියෙන්නේ…. ඒත් ඌ නම් තමන්ට මේ අත්මේ නෙමෙයි තව ආත්ම හතකටවත්… සමාව දෙන්නෙ නැති බව රස්තියාදුකාරයා දන්නවා… වැරැද්ද කලේ තමන්නේ… ඇත්තට තමන්ට වැරදුනේ කොතනද කියලා මෑන් හිතනකොටම පිච්චිලා පිච්චිලා තිබ්බ බීඩි කොටෙට ඇඟිලි දෙක්ත් පිච්චුනා…

“හු@#$…..…”

කුනුහරපයක් කියපු මිනිහා ඒක වතුරට විහික් කලා…

එතකොට රස්තියාදුකාරයාට දා හතයි … හොදම කාලේ තමයි… යම යුද්ධයක් නැටුවේ… එතකොට කොල්ලව මෙල්ල කරන්න කාටවත් බෑ… ඔය කාලේ තමයි සුදු නංගිත් එක්ක හුටපටයක් ඇති උනේ… ඇත්තට රස්තියාදුකාරයා කෙල්ලො එකක් දෙකක් එක්ක නෙමෙයි ප්‍රශ්න තිබ්බේ… වැඩේ කියන්නේ කෙල්ලොන්ගෙන් තමා මිනිහට කරදරේ තිබ්බේ… කොලු වයසනේ…. හුටපට ගොඩ්ඩාක් දුර ගියත්… කොල්ලා හැමදාම ගෙට එන්නේ ඔක්කෝම අමතක කරලා…..

ඉතිං සුදු නංගී රස්තියාදුකාරයාගේ මාමාගේ දූ… ගම්පහ තමයි හිටියේ… ගමේ මලගෙදරක ඇවිත් ඉද්දි තමා මුලින්ම දැක්කේ… රස්තියාදුකාරයා එහෙම තමා මලගෙදර බැහැලම වැඩ කලේ… පොඩ්ඩක් වටේට කැරකිලා ඇහැක් එහෙම ගහලා සුදු නංගිට ලයින් පාර දෙන්න කොල්ලා දෙපරක් හිතුවේ නෑ… පුදුම තැන්පත් කමක් තිබ්බ සුදු නංගියට එතකොට අවු 16… කට උඩ… කොහොම කොහොම හරී දෙවනි දවසේ මහා රෑ වෙනකං කැරම් ගගහා දෙන්නා හුගාක් ඇඟලුම් පැවා… අන්තිමේදී සුදු නංගියගේ අම්මගෙන් බැනුනුත් අහලා ටොක්කකුත් කාලා තමයි කෙල්ල නිදා ගන්න ගියේ... ඒ යද්දිත් කොල්ලා ඇහැක් ගැහුවා….

කොහොම හරි ඇයි හොඳයිය කොහොමද කියනවා නම්… මලගෙදර පාංසකුලේ දෙද්දි තමයි, අල්ලපු ගෙදරදි, සුදු නංගිගේ කුමරී බඹසර රස්තියාදුකාරයා සොරා ගත්තේ… ඇත්තටම හිතලා කරපු දෙයක් නෙමෙයි.වැඩේ සිද්ද උනා… ඊට පස්සේ තමයි සුදු නංගි ගමේ කෙල්ලන්ගෙන් රස්තියාදුකාරයා ගැන දැන ගත්තේ. ඔයින් පටන් ගත්ත ආරවුලක් සෑහෙන දුර ගියා. කෙල්ල ගම්පහා ගියා ගියාමයි ආයේ ගමේ ආවේ නෑ… දෙපාරක් තුන් පාරක් කොල්ලා සුදු නංගිව හම්බවෙන්න ගියත් කෙල්ල නෙමේ ඇහැක් ඇරලා බැලුවේ… රස්තියාදුකාරයාටත් මොකද, ඌ කවදවත් වැඩිය හිතුවෙ නෑ… ඒ උගේ නොතේරුම්කම

ඉතිං කාලේ ගෙවුනා… උසස් පෙළත් කරපු රස්තියාදුකාරයා ඔය සුද්දලත් එක්ක එහෙම සැහෙන පිස්සු නැටුවා. ඔහොම ඔහොම ඉඳලම අන්තිමෙදි මේ රස්තියාදු ගැහිල්ල එපාම වෙච්ච මෑන්ට තුවක්කුවක් අරන් යුද්ධ කරන්න හිතුනා… ඔය කාලේ යුද්දේ බරටම තිබ්බා… ඉතින් මිනිහා ගියා ආමී එකට.
රස්තියාදුකාරයා නැති එකේන් රස්තියාදු ගහපු කොල්ලො ටික එක එක හැලුනා. සමහරු ජොබ් හොයගත්තා. සමහරු කෝස් කරන්න ගියා. අන්තිමෙදී බොක්කුව තනි උනා….

ඔහොම අවු 2ක් ගෙවුනා…

යුද්දේ ඉවරවුනා... රස්තියාදුකාරයා ගමට ආවා. මිනිහා දැන් සහෙන්න වෙනස් වෙලා.යුද්දේ මිනිහව සැහෙන්න වෙනස් කරලා. නිමාඩුවට ගමේ ආපුවම මිනිහට හෙන පාලුයි. රස්තියාදුකාරයා ට්‍රෙලර් බයික් එකකින් බ්ර්ම්…බ්ර්ම්.. ගාලා …දවසට දෙපරක් තුන්පාරක්, ගම වටෙට රවුම් ගහනවා. මෑන් විදුලි වේගෙට බයික් එකෙන් ඉගිලෙද්දි, කෙල්ලො ජනෙල් රෙදි ඈත් කරලා බලනවා. එත් දුම විතරයි…

ඔහොම කාලයක් යද්දි ගමත් සැහෙන්න වෙනස් උනා. අසාවට කොල්ලො කුරුට්ටො හැන්දෑ යාමෙට හොයාගන්නවත් බැරි උනා. හන්දි හය හත වෙද්දි පාලු උනා. පන්සලටවත් වැඩිය කවුරුත් ආවේ නෑ… ඔක්කොමලා සිරස රන් දෙපැය, සුපර් ස්ටාර්, මෙගා ස්ටාර් අස්සේ හිරවුනා….
ඔය අස්සෙ තමයි, පාලුවෙන් සංකාවෙන් හිටිය රස්තියාදුකාරයාට මේනකා හම්බවුනේ…
මේනකා කියන්නෙ ගමේ හිටිය ලස්සනම කෙල්ල. කවුරුත් ගරු සරුව සලකපු නංගි කෙනෙක්. මේනකා දිහා ගමේ කොල්ලෙක් ඇහැක් ඇරලා බැලුවේ නැත්තේ එකම එක හෙතුවක් හින්දා….
ඒ තමයි කෙල්ල සුද්දාගේ නංගි.රස්තියාදුකාරයාගේ හොදම බොක්ක.
සුද්දා හෙන පොරිසාදයා… රස්තියාදුකාරයා වගෙම තමා. නංගිට මොකක්ද ලියුමක් දුන්නා කියලා කොල්ලෝ සැට් එකේම රස්තියාදුකාරයාගේ යාලුවෙකුට සුද්දා හෙන පෝරියල් එකක් දුන්නා. ඌ ගමත් අතහැරලා ගියා. එච්චර ඌ නංගිට ආදරෙයි…

ඉතිං දවසක් රස්තියාදුකාරයා බයික් එකේ එද්දී දැක්කා මේනකා නංගි පාරේ තනියම එනවා පංති ඇරලා. ඉතිං රස්තියාදුකාරයා කෙල්ලව දාගෙන ඇවිත් ගේ ගාවින් බැස්සුවා. කොහොම කොහොම හරී පාර තොටෙදී හම්බවුනාම රස්තියාදුකාරයාගේ පපුව කිතිකැවෙන හිනාවක් දෙන්න මේනකා නංගී පුරුදු උනා. ඉතිං පරණ පුරුදු ඔක්කොම අතහැරලා පාලුවෙන් සංකාවෙන් හිටපු රස්තියාදුකාරයාගේ පපු කැවුත්ත සින්නක්කරේටම ලියා ගන්න මේනකා නංගිට පුලුවන් වුනා….

ඕකෙන් මේකෙන් තමයි රස්තියාදුකාරයාගේ ඔලුව අවුල් උනේ. මොකද, සුද්දාට තමන්ම මේක කිව්වේ නැත්තං, වෙන කාගෙන් හරී ආරංචි උනොත් ඉඳලා හමාරයි. අනික රස්තියාදුකාරයාට සුද්දාව මහමෙරක් වගේ වටිනවා. හුඟ කලක් පපුව කොනිති ගහපු ආදරේ හිරකරගෙන හිටියෙත් ඌ සුද්දට තියෙන යාලුකම හින්දා.විශේෂයෙන්ම ඌ යාලුකම නැති කරගන්න කැමති වුනේ නෑ…. මොනම හෙතුවකටවත්…

ඉතිං දෙපැත්තටම වැනි වැනි තිබ්බ තිරනේ එක පැත්තකට බරවුනේ මේනකා නංගිගේ තීරණයක් හින්දා.
ටික දවසක ඉදං මේනකා නංගි රස්තියාදුකාරයාව දකිද්දී අහක බලනවා… රවනවා…

ඉතිං දවසක් මෑන් ගියා සුද්දාලගේ ගෙදර…
සුද්දා ගෙදර නැති විත්තිය ඌ හොදටම දන්නවා…

“සුද්දො…සුද්දෝ…”

කියගෙන කෑ ගහගෙන ගේ සාලෙට ආපු රස්තියාදුකාරයා පුටුවක වාඩිවෙලා… පත්තරයක් අතට ගත්තා…මොකද සුද්දගේ ගෙදරත් ඌට ඌගේ ගෙදර වගේ හින්දා
.
“අයියා…. ගෙදර…නෑ…..”
දොර රෙද්දත් එක්ක ඔට්ටු වෙවි හිටපු මේනකා කීවා…

“පුංචි ඉන්නවද නංගි…”

“අයියවත්….අම්මවත්…හොයගෙන නෙමෙයිනේ ආවේ….”
කෙල්ල කිවේ අමුතු කතාවක්…

“ඇයි… එහෙම ඇහුවේ…”

“නෑ…. මට කියන්න…. සුදු අයියේ….ඔයා තීරණයක්…ගන්නවද කියලා….”

කෙල්ල රස්තියාදුකාරයාට ආදරෙට කිවේ සුදු අයියා කියලා මිසක්….. උගේ ඇති සුදුවක් නෑ…

“හම්… සුද්දා උඹේ අයියා නොවුනා නම්… මං උඹව මේ වෙද්දිත් උස්සගෙන ගිහිං නංගියේ….”

රස්තියාදුකාරයා ලොකු හුස්මක් එක්ක එහෙම කිවේ ආදරෙන් කෙල්ලගෙ මුන බලාගෙන... බලං ඉද්දී ඒක ආදරයෙන් පිරුණා…

“ඇ…යි… සුදු අයියා අපේ අයියාට බයයි…ද…”
කෙල්ල දොර රෙද්දේ එල්ලිගෙන ඇහුවේ මූණ අමුතු කරං…

“…..බය… ඔව් මං බයයි…. උගෙයි මගෙයි යාලුකම නැතිවෙයි කියලා…”

“ඇයි ඒ… සුදු අයියා අපේ අයියාගේ හොදම යාලුවා…. යාලුවව මස්සිනා කරගන්න අකමැත්තක් තියෙවී කියලා මං හිතන්නේ නෑ….මං දන්නවනේ අයියගේ හැටි... එයා කැමති වෙනවා….”

“මාත් දන්නවා… ඌ පොඩිකාලේ ඉඳන් මාත් එක්ක හිටියේ… මං කරපු හැම දේම ඌ දන්නවා….. ඌ ඔයාට පුදුම විදිහට ආදරෙයි…නංගියේ.. මං වගේ නොසංඩාලයෙකුට ඔයාව දෙන්න ඌ කැමති නෑ… මං දැං මෙහෙම හිටියට ඊස්සර මං හෙන නරක කොල්ලෙක්…”

“ඔයා හිතන්නේ ඒ ගැන නොදැන මං…. ඔයාට කැමති වුනා කියලද… සුදු අයියේ… මං දන්නවා දැං ඔයා එහෙම නෑ කියලා….එකනේ… මං ඔයාට මෙච්චර…. ආදරේ…. ඔයත් මට ආදරේ නම්… තව මොනවද...... අනික…”

“මොකක්ද…”

රස්තියාදුකාරයාගේ හිත ඒ වචන ටිකෙන් පිරිලා ගියා…ආදරෙන්…

“අපේ අයියට…..ඔයාව …හදල ගන්න …බැරී උනාට,…….මට පුලුවනි…”

රස්තියාදුකාරයෙක්ට මීට වඩා…ආදරණීය වචන ටිකක් අහගන්න පුලුවන් වෙයිද…. මටනම් හිතුනේ එහෙම…

“මට කියන්න සුදු අයියේ ….ඔයා… අපේ අයියට කියනවද…?...නැත්තං…”

“නැත්තං….. නැත්තං මොකද….?.. චණ්ඩි කෙල්ල…”
රස්තියාදුකාරයා නැගිටින ගමං කීවා…

“ මං … කියනවා…ඕං…අයියට ..මටත් එපා වෙලා  තියෙන්නේ..…”

“කාවද…මේ මාවද…?”
මිනිහා හිමීට කෙල්ලට ලං වුනා…

“ළඟට එන්න එපා…. ළඟට එන්න එපා…අම්මා එයි….”

කෙල්ල බයවුනා… රස්තියාදුකාරයාගේ මුනේ තිබ්බ බැල්ම දැකලද කොහෙද….
එත් රස්තියාදුකාරයා මේනකා නංගිගේ වචන වලින්… ඒ ආදරයෙන්… මත් වෙලා  හිටියේ…
කොල්ලා ඉස්සරහට පැනලා කෙල්ලව ඇදලා ගත්තා…
කෙල්ල නාපු ගමන් හිටියේ.හීනි ශැම්පු සුවදක්, රස්තියාදුකාරයාගේ පපුවටම දැනුනා… කවදාවත් නොදැනුනු පිවිතුරු හැඟීමක් ඒක… රස්තියාදුකාරයාට ආගන්තුක හැඟීමක්…. මිනිහට ජිවිතේ පලවැනි වතාවට ආදරේ කියන්නේ මොකක්ද කියලා තෙරුනා.
කෙල්ල බයටද නැත්තං අදරේටද, මොකටද මංදා වෙව්ලනවා….
රස්තියාදුකාරයා කෙල්ලව තව ටිකක් පපුවට තුරුල් කරගෙන තමන්ගේ ආත්මය පුරා කෙල්ලගේ ආදරේ වීදගත්තා. මෙනකාගේ ඇස් බිමට බරවෙලා තිබ්බේ. රස්තියාදුකාරයා තමන්ගේ දෙතොල් පුදුම ආදරයකින් මේනකාගේ නලල මත තියලා සීරුවට සිපගත්තා…
මේනකාගේ මුලු ඇඟම වෙව්ලලා ගියා ඒ හාදුවට…. රස්තියාදුකාරයාගේ මුලු ආදරෙම තිබ්බ ඒ හාදුවට මේනකාගේ ඇස් තෙත් වුනා….. මිනිහා හීමිට මේනකාව පිටුපසට තල්ලු කලා. පස්සේ කවදාවත් කදුළු නොවැටුනු, ඒ ඇස් දෙක හිමිට පොඩිකරගත්තා. මිනිහගේ ඇස් වලටත් කදුලු ඇවිත්.

“ මං යනවා නංගි….. මං අදම…අයියව..හම්බවෙනව…”
ලොකු හුස්මක් එක්ක මිනිහා කීවා

“සුදු අයියා කවද්ද …යන්නෙ….”
මේනකා එහෙම ඇහුවේ පුදුම දුකකින්

“ අනිද්දා…. බලමු… මොනවා හරි වෙයිනේ… අයියට කියලා දාමු…….”

“…ම්…..”

“මං යනවා නංගියේ…”

“පරිස්සමින්… බුදු සරණයි…අයියේ….”

බයික් එක ස්ටාට් කරලා රස්තියාදුකාරයා කුරුල්ලෙක් වගේ ගෙදර ආවේ… මිනිහා සුද්දට  call එකක් දීලා කිවා හවස සැට් වෙමු කියලා.

ඒ…..මීට අවුරුදු 2 කට ඉස්සෙල්ලා

“ආ…. ඉලංදාරියා….. මොකො තනියම බොක්කුව උඩ…. ගෙදර යන්නේ නැතෑ….”

ආගන්තුක ආමන්ත්‍රණයකින් රස්තියාදුකාරයා උඩ ගියා…. මනෝ ලොකේ කැලී වුනා…

“ ආ… සේන් මාමේ….. මොකො පයින්ම…..”
ඒ සුද්දලගේ අප්පොච්චා……

සේන මාමා හති දාගෙන ඇවිත් බොක්කුව උඩ වාඩි වුනා…

“පොක් අත කැඩිලා…විංකලෙට දුන්නා. දවස් 2ක් වෙනවා... අර සමන් කොලුවා හිටියනං පට ගාලා හදලා දෙනවා. කොහෙද, කලුවා තාම අත ගහලවත් නෑ… හප්පේ පුදුම හතියක් තියෙන්නේ….”

“මාමා ටවුමේ ඉදන්ම පයින්ද…?”

“ඔව් කොලුවෝ…බස් එකට පරක්කු වුනා…”

“යං මාමාව මං ඇරලවන්නම්…”

“ඇත්තට පුතේ…මොකද මේ බොක්කුව උඩට වෙලා අවෙලාවේ…තනියෙං…”

“මුකුත් නෑ මාමේ…”
කියන ගමන් රස්තියාදුකාරයා වල් ගොල්ලට පෙරලිලා තිබ්බ පුස් සයිකලේ කෙලිං කරලා ගත්තා.

“කෝ කොලුවො …දඩු මොණරේ…”
මාමා ඇහුවේ උපහාසයට එහෙම නෙමෙයි, දුකෙන්…

“වික්කා මාමේ… අද තොසෙ හෙට වඩේ වෙනවනේ….නගින්න…”

මාමාව දාගත්ත රස්තියාදුකාරයා හිමිට බරකරලා පාගන්න ගත්තා…
බිඩී ගඳ හොදට මාමට එන්න ඇති..මිනිහා දුකෙන් ලොකු හුස්මක් හෙලුවා. කොහොම හිටිය කොලුවද. මිනිහට හිතෙන්න ඇති.

“ඈ ..පුතේ… රස්සාවෙන් අයින්ම උනාද….?”

“නෑ ..මාමේ..මං ගියෙම .නෑ…යුද්දෙන් පස්සේ මට හමුදාව එපාම උනා…”

ඇත්ත කතාව ඒක නෙමෙයි කියලා දෙන්නම දන්නවා…

“ඇත්තට පුතේ… මොකක්ද බං උඹලාට උනේ? බලපං….. උඹේන් ඇහුවට කියන්නෙත් නෑ. සුද්ද්ගෙන් අහුවත් කියන්නේ නෑ… නයි පොලොංගු වගේ… වයිර බැඳගෙන… අරහේ ලොකු කෙලී පිස්සියක් වගේ…මැහි තෙල් බීලා ගොඩ ආවයින් තාම ඇටකටු ටික විතරයි…”

සේන මාමාගේ කතාවට රස්තියාදුකාරයාගේ පපුව පිච්චෙන්න ඇති… පව් අසරණ මනුස්සයා කොහොම මේ දෙවල් ඉවසන්නද…

“මොනවා කරන්නද මාමෙ…. මගේ කාලකණ්ණිකම ට …”
රස්තියාදුකාරයා මිමිණුවා.

“දැං සුද්දා හැමදාම බීලා එන්නේ… ලොකු කෙලී දැක්ක ගමන් මොනවා හරි කියාගෙන යනවා. එකිත් ඉතිං ඉවසං ඉන්න එකක් යැ… කොච්චරවත් නයාට අඳු කොල වගේ… පුංචිට පපුවේ අමාරුව…. මටත් මෙව්වා ඉවසං ඉන්න පුලුවන් වයසැක් යැ… උඹ රස්සාව නැති කරගත්තා… මැරෙන්න ගිහිං ගොඩ ආවේ පුරුවේ පිනකට. මේවා කෙලවර වෙන්නේ කවද්ද….?”

සේන මාමා ඔහේ .කියවනවා… ඔව්වා අහලා අහලාම රස්තියාදුකාරයාට කටපාඩම්..

“පුතේ මං කියන්නේ උඹ මේනකාත් එක්ක එකලාසයක් වෙයං කියලා. සුද්දා ගැන මං බාලගන්නම්… ගමේ ඉන්න බැයිනම් ගමේන් පලයං.. මේකෙ කෙලවරක් තියෙන්න එපෑ…තේරුනාද පුතේ..”

“ම්… මාමේ…. මං හෙට හවස් වෙලා ගෙවල් පැත්තේ එන්නම්කො…”
රස්තියාදුකාරයා කීවේ බැරිම තැන.

“අන්න හරී පුතේ … උඹ වරෙන්.... මං සුද්දව කොහේ හරි යවන්නම්.. හොද වෙලාවට උඹව හම්බවුනේ…. එහෙනම් වරෙං පුතේ…”
සේන මාමාගේ හඬ ප්‍රණවත් වුනා…
රස්තියාදුකාරයා සුද්දලගේ ගෙදර ගාවින් මාමාව දාලා ආපහු හරවගත්තා… ඒත් ඇත්තටමද මං හෙට එහේ එන්නම් කිවේ… රස්තියාදුකාරයාට හිතට ආපු පලවෙනි ප්‍රශ්නේ ඒක…
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

රස්තියාදුකාරයට අන්තිමේටම සුද්දත් එක්ක සැට් වුනු දවස මතක් වුනා... එදා තමයි දෙන්නගේ හුටපටේ සුද්දට කියන්නම් කියලා මිනිහා හිත හිත හිටිය දවස...

රස්තියාදුකාරයා හරියටම හය වෙද්දින් බෝ ගහ යටට අවා..සුද්දා එතනට එන්නං කියලනේ කීවේ…
බයික් එකේ වාඩීවෙලා ඉන්න ගමන් මිනිහා සිගරැට් එකක් පත්තුකර ගත්තා… එතකොටම තමා ගමට යන බස් එක බෝ ගහා ගාවින් දැම්මේ… සෙනඟ වැඩිය නෑ.... සිගරැට් එක වහං කරගෙන රස්තියාදුකාරයා බැලුවා බස් එකේ කව්ද ඉන්නේ කියලා…
හරි ලස්සන කෙල්ලෙක් ජනේල ගාවම වාඩිවෙලා… දැකලා පුරුදුයි වගේ.. රස්තියාදුකාරයා හිතුනා.. එක පාරටම කෙල්ලත් මෑන් දිහා බැලුවා… රස්තියාදුකාරයාගේ මයිල් කෙලිං වුනා ඒ බැල්මට... කෙල්ල ඉක්මනට අහක බලා ගත්තා..

“සුදු නංගි…”
මිනිහට කියවුනා... සාරියක් එහෙම ඇදගෙන කෙල්ල කොහෙහරි යන ගමං.. දැං කෙල්ල ගමෙද ඉන්නේ…දැක්කෙම නෑනේ.. එක පාරටම සිතුවිලි ගොඩාක් හිතට ආපු රස්තියාදුකාරයා දුම් උගුරක් බීවා…
බස් එක අද්දලා හංදියෙන් නොපෙනී ගියා..

“ඒයි…උඹ රහත් වෙලාද…”

සුද්දා ලඟටම ඇවිත්..

“සුද්දෝ..මං සුදු නංගිව දැක්කනේ…”

“කව්ද…?”

“අර සිරිපාල මාමාගේ පොඩි දුව…”

“කව්ද…අනුශී..ද…”

“ හහ ..උබ නමත් දන්නවනේ..එකී තාමා…මොකො මෙහේ කරන්නේ…”

“දැං බැංකුවේ වැඩ…ගමට ඇවිත් සති තුනයි….”

“දන්නෙවත් නෑ…”

“ඇයි දැනගත්තා කියලා මොනා කරන්නද.”
ඌ නිකං කිංඩියට වගේ ඇහුවේ…. ඒත් රස්තියාදුකාරයා විතරනේ ඒවා දන්නේ.

“නෑ බං ඕකි මට නංගී වෙන්නේ…ඔය අවුරැදු හයකින් විතර ගමට ආවේ…පොඩ්ඩක් හොයලා බලන්න එපැයි…”

“නෑ…. නෑ… උඹ පාඩුවේ ඉදපං…උඹ ඕවට කලබල වෙන්න එපා ”

ඌ හෙන හයියෙන් හිනාවෙලා කිවේ රස්තියාදුකාරයාගේ හැටි දන්න හින්දා වෙන්නැති…කොහොම හරි වෙන්න මස්සිනා හින්දා රස්තියාදුකාරයා ආයේ මුකුත් කීවේ නෑ…
ඉතිං රස්තියාදුකාර යාලුවෝ දෙන්නා එදා බෝතලයකුත් අරගෙන ගමේ තිබ්බ පාලු පැලක් උඩ සැට් උනේ ගිනි මැලයක් එහෙම ගහගෙන… රස්තියාදුකාරයා තමංගේ කතාවට එන්ටර් වෙන්න යද්දිම…

“මේ උබට මට පොඩී කාරණාවක් කියන්න තියෙයි…”
සුද්දා කියපි…

“මොකක්ද බං ඒ…”

“මේ…අපේ නංගිට ..කවුරුහරි කොල්ලෙක් ඉන්නවා බං…”

රස්තියාදුකාරයාට එකපාරට බය හිතුනා.. බලං ගියාම උගේ කතාවයි,මගේ කතාවයි, දෙකම එකක් වෙයිද…මෑන්ට හිතුනා…

“ඇයි බං උබ එහෙම කියන්නේ…”

“මට ඕවා තෙරෙනවා බං…ඉක්මනට හොයලා බලලා හොද එකෙක්නම් ජොඩු කරලා දානව බං… කෙල්ලො වැඩිකල් ගෙවල් වල තියං ඉන්න හොද නෑ..”

“කොල්ලා නරක එකෙක්නම්…”
රස්තියාදුකාරයා හිතේ තිබ්බ එකයි ඒ ඇහුවේ…

“හතර හංදි කඩලා දානව…”
ඌ ශොට් එකක් දාන ගමන් කීවා…

“ඉතිං උඹ කොයි වගේ එකෙක්ද හොයන්නේ…”

රස්තියාදුකාරයා දැං බරටම හලාගන්නව..ගට ගන්නත් එක්ක..

“ම්….බොන්නේ නැත්තං හොදයි….එත්…දැං නොබොන කොල්ලෙක් හොයා ගන්න බෑනේ…වනචරකමේ යන්නැති…ගෑනු පිස්සුව නැති එකෙකුට තමා… දෙන්න ඕනේ බං…. නැත්තං කෙල්ලගේ ජිවිතේ විනාසයි…උඹ දන්නවනේ මං ඕකිට කොච්චර ආදරෙද….”

“ඉතිං බං අර සිරිමලාට ඇයි උඹ තඩි ගැහුවේ… ඌ කොච්චර හොද කොල්ලෙක්ද… කිසිම අඩුපාඩුක් නෑ…”

“චී…ඌ පෙන්දෙක්නේ බං… මට ඕනේ ඔන්නං නංගි වෙනුවෙන් මං එක්ක උනත් ඇරගන්න කොන්දක් තියෙන එකෙක්ට…. හරියට උබ වගේ….”

ඌ කියපු එකට රස්තියාදුකාරයාට අරක්කු උගුරත් ඉස්මොල්ලේ ගියා…

“…හහ…එතකොට උඹ නංගිව මට දෙන්නද යන්නේ….”
කැහැලා කැහැලා ඉවරවෙලා මෑන් හිතේ තිබ්බ එක කියලා දැම්මා…

සුද්දා හිනා වෙන්න පටං ගත්තා හෙන හයියෙං…

“තොට දෙන්න…තොගේ වනචරකම් මං දන්නේ නැද්ද යකෝ….මං කිවේ තෝ වගේ කොන්දක් තියෙන එකෙක්ට කියලා…”

රස්තියාදුකාරයාට පුදුම දුකක් දැනුනේ…මිනිහා තව ලොකු විදුරුවක් පුරවලා ගත්තා…

“සුද්දෝ පොඩි කාරණාවක් තියෙයි…”
මෑන් හිතා ගත්තා කතාව දැම්ම කියන්න ඕනේ කියලා.

“ඉදහංකො…මගේ කතාව තාම පටං ගත්තේ නෑ…. නංගිගේ වැඩේ ඉක්මනට කරන්න ඕනේ කිව්වේ ඇයි දන්නවද…?”

“නෑ…”

“මටත් හිතුනා බඳින්න කියලා බං…”

“ හොදයි සුද්දෝ අදහස…එත්…බඳින්න කෙල්ලෙක් තමා ඔනේ..නේ…”

“උඹ හිතන්නේ මට කෙල්ලෙක් හොයා ගන්න බෑ කියලද…. යකෝ… මට දැං ඉන්නවා රත්තරං කෙල්ලෙක්….”

“තෝ වල් හිවලා… මටත් හොරෙන්…හොයාගත්ත්ද එකක්… කව්ද..කියහන්…කව්ද කියහන් …”

රස්තියාදුකාරයාට ඔක්කොම අමතක වුනා ..සුද්දට කෙල්ලෙක් සැට් වුනා කියපුවම.. රස්තියාදුකාරයාගේ සතුට මුහුනෙන් පෙනුනා…

“යකෝ…ඒ තොපේ නංගී වෙනවා කියපු අනුශී බං… කෙල්ල මට කැමතියි බං… දාපං පහක්…”

මොන පහක්ද…ඌ කියපු කතාව අහලා රස්තියාදුකාරයාගේ මුලු ලොකෙම කලුවර උනා… ඔලුවේ අත ගහාගත්තු රස්තියාදුකාරයා කල්පනාකලේ මේ මොකක්ද උනේ කියලා..

“ඒයි…ඇයි උඹ අප්සට් ගියේ…. කියපං… ආ..මං දන්නවා…මං මෙච්චර කල් නොකියපු එකටද…සොරි බං…උඹට තමයි යකෝ මුලින්ම කීවේ….උඹට සතුටු නැද්ද…”

රස්තියාදුකාරයා තව එකක් හලගත්තා…සුද්දට වෙරී….ඌ මොන මොනවද මංදා කියවනවා… රස්තියාදුකාරයාටත් අම්බානට වෙරි… මේනකා ගැන කියන්න ගට ගත්තට, දෙයියනේ මොකකද මූ මේ කරගෙන තියෙන්නේ…සුදු නංගිත් එක්ක පැටලිලා.. දැං නම් මගේ කතාව කියන්න බෑ… රස්තියාදුකාරයාට හිතුනා.. ඒ ගැන හිතන්නත් මිනිහට බෑ.. ලොකු පටලැවිල්ලක් තියෙනවා කියලා මිනිහට තෙරුනත් වෙරිමතේ ඒ ගැන හිතන්න ගත්තත් ඔලුව අවුල් උනා විතරයි…

ඉතිං… රස්තියාදුකාරයා වෙරි මරගාතේ ඇස් දෙක පියාගත්තා..

“යකෝ බේං මෙකට වෙරී…මං මගේ කතාව කිවා උඹ කියන්නෙ නැද්ද….?”
“බොකු… නැගිටහං බං…..ම්…කමක් නෑ අපි හෙට උඹේ කතාව අහමුකෝ….”
“උඹ…නිදාගනින්…මං බලාගන්නම් උඹ ගැන…උඹ දන්නවනේ…සුද්දා ගැන…ඌ උඹ වගේම තමයි…නෑ…නෑ… උඹ වගේ ගෑනු පිස්සුවක් මට නෑ…. එතන විතරයි වෙනස… නැත්තං උඹ මගේ කාපාපු පලුව…නැද්ද් සහොදරයා..”

සුද්දා කියව කියව බොනවා…

“යකෝ කෙල්ලො අනාථ කරන්න එපා… බං ඌං පව්… ඌං හරියට මල් වගේ.. අපි ඌංව පරිස්සම් කරන්න ඕනේ… බොක්ක…හරී උඹ බුදිනේ…හැබයි සනා... මං උබේ සුදු නංගිව බදිනවා… මං අනුශිව බඳිනවා…ගම් හතකට කියලා මගුල ගන්නේ... උඹ මගේ දෙවැනි මනමාලයා වෙන්න එනවා…නේද…කියපං..එනවා නේද…කියහංකෝ ….හරී …..මං දන්නවා උඹ එනවා කියලා…….අවේ නැත්තං ……තෝ මරනවා යකෝ..මං…”

රස්තියාදුකාරයා එදා රෑ සුද්දාගේ හිතේ තියෙන හැමදේම අහගත්තා..අන්තිම්දී පැලෙදී සුද්දටත් නින්ද ගියාට පස්සේ තමයි රස්තියාදුකාරයාට නින්ද ගියේ…

පහුවදා සුද්දට කලිං රස්තියාදුකාරයාට ඇහැරුනා.. උදේ ඇහැරෙද්දි ඔලුව.. රිදෙනවා…තාම ඉර පායලා නෑ…පැලේ මැස්ස උඩ හිටපු මිනිහට එකපාරටම මතක් උනේ රෑ වුන කතාබහ…ප්‍රශ්න එකපිට එකපිට ඔලුවට අවේ… ඒ කාලේ ඔලුව නැතුව කරපු වැඩ වලට මුලු ජිවිත කාලෙම විදවන්න වෙයිද… ඇත්ත්ටම තමං පැටලිලා ඉන්න පඹගාල ගැන තෙරෙද්දි මිනිහා සැහෙන්නම බය වුනා…

“මේ මී හරකත් සුදු නංගිත් එක්කම පැටලුනානේ…”

හතරගාතේ දාගෙන බුදියං හිටපු සුද්දා දිහා බලාගෙන රස්තියාදුකාරයා හිතුවා…
රස්තියාදුකාරයා ලොකේ ගැන හොද දැනුමක්, සමාජය ගැන හොද අවබෝධයක්, තියෙන එකෙක්... මිනිහා මේ ගැටලුවට උත්තර හෙව්වා… මෙතන ලොකුම ප්‍රශ්නේ සුද්දගේ හැටි… මෑන් හොදටම දන්නවා සුද්දා කියන්නේ සාම්ප්‍රදායික අදහස් තියෙන පොරිසාදයෙක් කියලා.. රස්තියාදුකාරයා හිතං හිටියේ මේනකා ගැන කියලා මොනවා වෙයිද කියලා.. සමහරවිට ඒක හන්දා යාලුකම නැතිවෙන පැත්ත්ට තමයි වැඩිය බර… අයියා මොනවා කීවත් මේනකා තමං එක්ක එන බව මෑන් දන්නවා…
ඒත් රස්තියාදුකාරයා හිතන්නේ හැමදෙටම වැඩිය යාලුකම ගැන…. මොනවා උනත් යන විදිහට..යාලුකම පරාද වෙයි වගේ..ඇයි මේනකා අනිවාර්යයෙන් අයියට මේක කියනවා…ඉතිං කොහොම හරී ඒක විසඳගත්තතා කියමුකෝ…එත් සුදු නංගිගේ ප්‍රශ්නේ..
එතකොටම රස්තියාදුකාරයාගේ ඔලුව පැලෙන්න වගේ අවා..අනිවාර්යයෙන්ම සුදු නංගිගේ ආත්ම ගවුරවය කාගෙන් හරී කෙලෙසිලා කියලා දැනගත්ත ගමං ගතානුගතික සම්ප්‍රදායික මනස් ගාත.. සදාචාරය…නැමති රෙද්දෙන්…වහගෙන..ඒ මත්තෙම ජීවත් වෙන පටු ආකල්ප වලින් ගැහැනිය කියන සංකල්පය දකින සුද්දා අනිවාර්යයෙන්ම කෙල්ලව මරනවා… ඒක සහතිකයි.. ඒ දේ තමංගෙන් වුනා කියලා දැනගත්තම මේකා මොනවා නොකරයිද…? මේනකාගෙයි තමංගෙයි කැදෑල්ල… සොඳුරු හීනයක්ම වේවිද…. ඒ ඔක්කොම අතහැරලා උගෙයි මගෙයි යාලුකම තියාගන්න… තියනවනම්…ඒත්.. මට කියලා දාන්න පුලුවං සුදු නංගිගෙයි,මගෙයි සම්බන්දය...ඒකෙන් වෙන්නේ සුදු නංගිගේ ජිවිතය ආයේ ගොඩ ගන්න බැරී විදිහටම වීනාශ වෙන එක විතරයි… හිතන්න පුලුවං හැම විදිහටම මිනිහා හිතලා…අන්තිමේදි මිනිහට හිතුනා මුලින්ම  සුදු නංගිගෙන් මේ ගැන අහන්න ඕනේ කියලා……

ඉතිං… රස්තියාදුකාරයා එදාම බැංකුවට ගියා… සුදු නංගිව හම්බවෙන්න…

සුදු නංගිගේ මුනේ තිබ්බේ අමුතුම හැගිමක්.... අවුරුදු ගානකට පස්සේ… කෙල්ල සැහෙන්න ලස්සන වෙලා…

“සුදු නංගී….”
රස්තියාදුකාරයා මිමිනුවා…

“ඇයි තමුසේ මාව බලන්න ආවේ..”

“මං උඹව බලන්න නෙමෙයි ආවේ…. මට උඹත් එක්ක කතා කරන්න ඔනේ.. සුද්දා ගැන…”

රස්තියාදුකාරයාට මලම පැන්නා…ඌ මේ දෙලෝ රත් වෙලා ඉද්දී සුදු නංගිගේ ගැස් ඌට දිරෙව්වේ නෑ…

“මොනවා කතාකරන්නද…තමුසෙටයි මටයි, කතා කරන්න දෙයක් නෑ..”

“උබ..මොකද සුද්දත් එක්ක පැටලුනේ…”

“ඇයි…..මං තමුසෙගෙන් එකට අවසර ගන්න ඕනෙද…?”

“උඹ..දන්නැ…නංගියේ සුද්දා කියන්නේ කව්ද කියලා…ඌ හෙන වසවාර්තියා…”

“තමුසෙට වැඩක් නෑනේ..මං කාත් එක්ක යාලු උනත්… මොකද මෙච්චර කැක්කුම….. මගෙ ජිවිතේ විනාශ කලා මදිවට…. තවත් වද දෙන්න මොකට එනවද මංදා……”

සුදු නංගිගේ හිතේ සැහෙන වයිරයක් තියලා තියෙනවා…රස්තියාදුකාරයා ගැන…

“මේ අහපං නංගියේ … මං උඹේම හොදටයි කියන්නේ…සුද්දා දන්නවද උඹේයි මගෙයි සම්බන්ධයක් තිබ්බා කියලා….”

“මොන සම්බන්ධයක්ද…. අපි දෙන්නා අතර කිසිම සම්බන්ධයක් තිබුනේ නෑ…”

“තිබ්බේ නෑ…. හොදයි එතකොට තිබුනෙම නැද්ද…..”

“ඒක මගේ ජිවිතේ මං කරගත්ත ලොකුම වැරැද්ද…. එක අත්වැරැදීමක් ….”
කෙල්ල ඉකිගහනවා…

“ඇත්ත… අන්න…සුද්දා උඹේයි උගෙයි…මගුල ලැස්ති කරනවා… ගම් හතකට කියනවා කීවා.. උඹ හිතන්නේ උඹේයි මගෙයි…ඔය අත්වැරැදීම ගැන ඌට නොකියා මගුල කන්නද…..?”

කෙල්ල බිම බලාගෙන අඩනවා…

“ඌ මගෙත් යාලුවා …උඹ මගේ නංගී… මගේ අතිං වැරැද්දක් වුනා තමයි…..ඉතිං ඔව්වා හරිගස්සගන්න උඹමයි.. ඒ කාලේ ඉඩ දුන්නේ නැත්තේ.. උඹ සුද්දට කැමතියි කියන්න කලින්…ඔය දෙවල් ඌට කියන්න තිබුනා… අනේ මංදා වෙච්ච දේවල් මට ඌට කියන එකනම් මහා ලොකු දෙයක් නෙමෙයි…හැබැයි…උඹ තමයි වැරදිකාරයා වෙන්නේ…”

“ ඉතිං දෙයියනේ ..මං මොකද කරන්නේ..”

"අනේ මංදා.. මම උඹ ගැන සුද්දට කියන්න යන්නේ නෑ… හැබැයි සුදු නංගියේ… සුද්දා කියන්නේ කව්ද කියලා උඹට වඩා මන් හොදටම දන්නවා.. මේ දේ ඌ දැන ගත්තේ නැතත්…උඹ ඉන්න තත්වෙන් ඌ උබව බාරගන්නේ නෑ….. හොදට හිතලා බලලා තිරනයක් ගනින්… තවත් මං උඹේ ජිවිතේ විනාශ කරන්නේ නෑ… හැබැයි.. මං ඌට පිටිපස්සෙන් ඇනලා තියෙන්නේ කියලා ඌ දැනගත්ත දවසට මගේ මිනිය බලන්න තමයි උඹට එන්න වෙන්නේ…”

සුදු නංගී ලෙන්සුවෙන් කඳුළු පිහදාගන්න ගමන් මිනිහා දිහා බැලුවා….

“අනික … උඹ දැනගනිං මගේ ජිවිතෙත් මං කරපු ලොකුම වැරැද්ද තමයි උඹ… හරිද.. නංගියේ…”
කියාගෙන රස්තියාදුකාරයා එන්න හැරුනා…

මිනිහා ගෙදර ඇවිත් හුගාක් කල්පනා කලා… මොන තිරනේ ගත්තත් කාට හරී ද්‍රෝහි වෙන්න වෙනවා…මේනකා නංගී රස්තියාදුකාරයා හොයාගෙන ගෙදරටම ආවත්...මිනිහා මගහැරියා…

“හෙට යන්නත් තියෙනවා.... නිවාඩුත් ඉවරයි.... ඒත් ප්‍රශ්නේ විසදගන්න පුලුවන් නම් තව දවස් 2ක් විතර නිවාඩු ඉල්ලගන්න පුලුවන්..ඒත් දවස් 2න් ප්‍රශ්න විසදෙයිද…?”

තිබ්බ ආතතියත් එක්ක බොක්කුව ගාවටම වෙලා…සිගරැට් පුච්ච පුච්ච රස්තියාදුකාරයා හැන්දැ වරුවම ගෙව්වා…

හවස හය හමාරට විතර ඇහුනා සුද්දාගේ බයික් එකේ සද්දේ..... ගුරු පාර දිගේ ඈතින්…
විදුලි වේගෙන් ආපූ බයික් එකෙන් සුද්දා බැස්සේ මාරවේශ වෙලා…
රස්තියාදුකාරයා බොක්කුව උඩ හිටගත්තා….වැඩේ පත්තු වෙලා වගේ… මිනිහා දෙගිඩියාවෙන් හිටියේ…

“සුද්දා… මොකො මේ…”

සුද්දා ස්ටැන්ඩ් එක ගහන්නවත් නැවතුන් නෑ… බයික් එක ගුරු පාරෙම පෙරලුනා… උගේ අතේ තිබ්බේ කැන්ද ලීය… උදලු මිටකට කපපු එකක්ද කොහෙද… ඒක උස්සගෙන ඌ රස්තියාදුකාරයා ගාවට පැන්නා..

“තෝ කැ… බල්ලා….. අම්මට…………..”

දෑත බදලා දුන්න පොලු පාර රස්තියාදුකාරයාගේ හිස් මුදුනටම වැදුනා…

“අ…ම්….මෝ…..”

රස්තියාදුකාරයා එහෙම්ම අවසිහියෙන්, දොලපරට වැටුනේ දෙවැනි පාරත් එක්ක්… ඒක කොහෙටද වැදුනේ කියලා රස්තියාදුකාරයාට තෙරුනේ නෑ…

දොලපාරේ සීතල වතුර රස්තියාදුකාරයාට දැනුනේ අසීමීත වේදනාවත් එක්ක…
දොලපාර තත්පරයෙන් දෙකෙන් රතු උනා…..

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

හොඳ වෙලාවට ඇනිකට් එක ගාව හිටපු කොල්ලො දෙන්නෙකුට රස්තියාදුකාරයාගේ කෑ ගැහිල්ල අහුනේ…සුද්දා බයික් එකේ නැගලා ගියාට පස්සේ ඌං දෙන්නා ඇවිත් බලද්දිත් සැහෙන ලේ ගොඩාක් ගිහින්.. රස්තියාදුකාරයාව ටවුමේ ඉස්පිරිතාලෙට ගෙනිච්චා.. ඊට පස්සේ කොළඹ ගෙනිච්චා… පොලු පාරවල් සැහෙන්න සැරට වැදිලා… හුඟක් දොස්තරවරු කීවේ ගොඩ ගන්න බැරි වෙයි කියලා…..
හැබයි රස්තියාදුකාරයාගේ පණ හයියයි… යුද්දෙදි RPG එකක වැදිලා ඇස් පනාපිට උගේ බඩියා නැතිවෙන හැටි ඇස් දෙකට දැකලා ඌ ජිවත් උනේ මෙහෙම ලෙසියෙං මැරෙන්න නෙමෙයි…. හරියට ඌ තවත් දුක් විදවන්න ඕනේ කියලා වගේ තමයි… කොළඹ ජාතික රොහලේ සති තුනක් මූ සිහිනැතිව හිටියා… අන්තිමේදි සිහිය ආවයිං මිනිහව යුධ හමුදා රොහලට මාරු කලා … මාස දෙකක් ගියා ඇඳේන් බහින්න… සිහිකල්පනාව තිබ්බ හින්දා මිනිහා සැහෙන්න වීදෙව්වා…

රස්තියාදුකාරයා ගමට ආවයිං පස්සේ තමයි හරියටම විස්තරේ දැනගත්තේ….. එදා හවස සුදු නංගී සුද්දාට කියලා තියනවා යොජනාවට අකමැති විත්තිය… සුද්දාට මල පැනලා…. ඇයි යකො කැමති වෙලා හිටපු එකනේ…. ඉතිං  සුද්දා බලෙං බලෙං විස්තරේ දැනගෙන.... ඌට නිකං හෙණගැහුවා වගෙලු කතාව දැනගෙන …. සුදු නංගි කියලා නෑ කාගෙන්ද මේ වින්නැහිය උනේ කියලා… පස්සේ සුද්දා සුදු නංගිට සැහෙන්න ගහලා…. රස්තියාදුකාරයාගේ නම කියලා තියෙන්නේ බැරිම තැන… ඒක අහපු සුද්දා ඇත්තටම බය වෙලා … පස්සේ තමයි රස්තියාදුකාරයාව හොයාගෙන ඇවිත් තියෙන්නේ…..

කොහොම හරී සුද්දා රස්තියාදුකාරයාට ගහපු විත්තිය මේනකා නංගී දැනගෙන…. කෙල්ල සුදු නංගිගේ විස්තරේ දන්නේ නෑනේ… රස්තියාදුකාරයා ඉස්පිරිතාලේ පණ අදිද්දී… මේනකා නංගි කුඹුරුට ගහන්න ගෙනාපු මැහිතෙල් බොතලේ බීවා…… එතකොට තමයි ගෙදර කස්ටියයි,ගමේ කස්ටියයි, සුද්දායි, දෙන්නගේ හුට පටේ දන්නේ…
ගමේ කේලම් මලු වලට නම් ඔය දවස් වල රජ මගුල්…. සැහෙන කතා ටිකක් අපේ කන් වලටත් ආරංචි වුනා… එහෙම තමයි මං පාවා මේ හුටපට ගැන දැනගත්තේ… පස්සේ තමා ඇත්ත කතාව දැනගත්තේ…. කොහොම හරි සුද්දා ටික කාලෙකට ගමෙන් ගියා… ඇයි රස්තියාදුකාරයාගේ ආමි එකේ යාලුවෝ ලොරියක් අවානේ ගමට…. අහුවුනානම් සුද්දාගේ කෑලිවත් නෑ…සුද්දාලගේ ගෙදර ගිනිතියන්න පවා ගියා…එත්.... මේනකා නංගි ගැන දැනගත්තයිං ඌං සංසුං වුනා…

කොහොම හරී රස්තියාදුකාරයාට සාත්තු කරන්න හිටියේ… ගෙදර හිටිය අප්පොච්චා විතරයි… රස්තියාදුකාරයාගේ අම්මා නෑනේ… මට ඒ බැව් කියන්න අමතක වුනා….මේනකා නංගිටත් ගොඩ එන්න සෑහෙන්න කල් ගියා…
රස්තියාදුකාරයාට හොද උනත් රස්සාවට ගියේ නෑ....ගමට වෙලා කාලකණ්ණි වුනා… ටික කාලෙකිං සුද්දා ගමට ආවත් දෙන්නගේ තරහව අමතක කලේ නෑ…මේනකා නංගිගේ සිද්දිය හින්දා සුද්දගේ වයිරය ඔඩූ දිව්වා විතරයි…. ඉතිං ඔහොම කාලේ ගෙවුණා.. මේවගේ කෙලවරක් පේන පාටක් නෑ….

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

පුරුද්දට වගේ රස්තියාදුකාරයා හවස හතර විතර වෙද්දී බොක්කුව ගාව ඇණ තියාගත්තා…කොහොම හරී ගමේ මිනිස්සුංට මේක දැං පුරුදු දෙයක්.. හවස් යාමේ බොක්කු කට උඩ වාඩිවෙලා දිග නයෙක් වගේ වෙල් යාය මැදින් ඈතට  ඈතට යන දොල පාර දිහයි… පැහෙන්න බරවෙන්න තව ගොඩාක් කල් තියෙන බණ්ඩි ගොයමයි දිහා බලාගෙන සිගරැට් පුච්චන රස්තියාදුකාරයාගේ රුපේ…
සරැංගල් කාලේ හින්දා කෙල්ලෝ තුන් හතර දෙනෙක් ඈත සරැංගලයක් උඩ යවනවා.. දැං ආයේ ගමේ ගොඩේ කොල්ලො වෙලට හංදියට බහින්න පටං ගෙන…. රස්තියාදුකාරයාටත් සතුටුයි… පොඩි ඇට්ටං කොල්ලෝ රස්තියාදුකාරයාට කියලා සරැංගල් හදා ගන්නවා… ඒවා කවදාවත් කූරිය ගහන්නේ නැති විත්තිය ඌං හොදටම දන්නවා.. දොල පාරේ ඉන්න පුංචි මාලු පාවා රස්තියාදුකාරයාව අදුරනවා…හැන්දෑවට උඩ ගහන කවිදු මල්ලිගේ පරෙයි කුඩේ ඉන්න හැම පරෙයියම රස්තියාදුකාරයාගේ විසිල් එකට බොක්කුව ගාවට බහිනවා…. ඉතිං මේ හැම දෙයක් එක්කම කල් ගෙවන මේ ඉලංදාරියට ගමේ ගෑනු බොක්කුව ගාව රස්තියාදුකාරයා කියන්න ගත්තේ නිකමටයෑ… ඉතිං ආං අර රස්තියාදුකාරයා….. කියපුවම මිනිහා ගැන නොදන්න කෙනෙක් නැතිවුනා..

ඉත්ං එදත් රස්තියාදුකාරයා බොක්කුව උඩට වෙලා කකුල් දෙක දලා වාඩිවුනා… වතුර ආයේ  වැඩි වෙලා… එත් තාම කකුල් දෙකේ වදින මට්ටමට නෑ…. ඊයේ රෑ සේන මාමා කීවට ගෙදර එන්න කියලා මිනිහට හාංකවිසියක්වත් නෑ ඒ ගැන..
මිනිහා හීමිට ඔතාගෙන ඇවිත් තිබුන ගංජා සුරුට්ටුව පත්තුකරගතා… ටික වෙලාවකිං දුං කැරලිත් එක්ක ඇස් දෙකත් හීන් වුනා…
කොහොම කල්පනාවක හිටියද කියනවනං මිනිහා දන්නේ නෑ කවුදෝ තමන් ලගින් වාඩිවෙනවා…. මිනිහා එකපරටම හැරිලා බැලුවා….

දෙයියනේ….. මේනකා නංගී……..

“නංගියේ…උඹට පිස්සුද..?”

“ ඔව් මට පිස්සු තමා…. සුදු අයියා මාව බලන්න එන්නෙත් නෑ… මෙත්න ඉදන්… බිඩී බිබි ඉන්නවා… කො .දෙන්න.ඕක…”

කෙල්ල තරහෙන් කියවනවා… මේනකා නංගී…ඉස්සරට වඩා ටිකක් කෙට්ටු උනත්…එදා වගෙම සිරියාවන්තයි….ඒත් මුලු මූනේම අදුරු වලාවක් තිබ්බ එක අහන්න දෙයක්යියැ… හරියට ලොකු කුනාටුවකට අහුවෙලා වගේ….

කෙල්ල රස්තියාදුකාරයාගෙ අතේ තිබ්බ ගංජා සුරුට්ටුව බලෙම්ම උදුරාගත්තේ… මිනිහා එක විසික් කරන්න හදනකොටමයි…

“හප්පේ… මොකක්ද මේ….”
කෙල්ල හීමිට සුවද බැලුවා….

“බීඩි නෙමෙයි… සුදු අයියා කංසා ගහන්නේ…. ඉතිං  මාව අමතක වෙන එක අහන්නත් දෙයක්යෑ…..ඔය ඉන්නේ ඇසුත් රතු කරන් … කෝ බලන්න….”

කියපු මේනකා නංගී සුරුට්ටුව කටේ තියලා ඇද්දා…..

“චි…මොනවා කරනවද මංදා….”

රස්තියාදුකාරයා කෙල්ලගේ කටිං ඒක උදුරගෙන විහික් කලා දොල පාරට…ඇදුපු දුම් පාර කෙල්ලගේ ඉස්මොල්ලෙත් එක්ක ගියා….කෙල්ල කැස්සා කැහිල්ලක්… රස්තියාදුකාරයාට ආදරෙට පොඩි හිනවකුත් ගියා… මෑන් හීමිට කෙල්ලගේ පිටට තට්ටුවක් දැම්මා…

“හ…ප්…පේ.... එකේ සැර…..ම්… මාව අමතක කරන්න නේද ඔච්චර සැර ඕ…වා බොන්නේ…”\
රස්තියාදුකාරයාට හිනා…

“බොන්නකො… කුරුම්බා ගෙඩියක්…ඔය දුම් උරන්නේ නැතුව…මං රණවරා ටිකකුත් ලිපේ තියලා අවේ… යංකෝ ගෙදර…”

කෙල්ල කියවනවා … කෙල්ලට රස්තියාදුකාරයාව අල්ලගන්න හම්බුනේ හුඟ කාලෙකින්…

“නංගියේ උඹ මෙතන ඉන්න එපා…පලයං ගෙදර…”

"බෑ….ම්…. අප්පොච්චා කීවා… අද සුදු අයියා අපේ ගෙදර එනවා කියලා… මං මේ ආවේ එක්කගෙන යන්න….”

“කිවානම් තමයි…එත්…”

"ඒත් මේත් බෑ… අද එන්න ඔනෙමයි… අපේ අයියත් නෑ…. ඕකා කිසිකමකට නෑනේ….. හැමදාම අඩිය ගහලා ඇවිත්…මාත් එක්ක එල්ලෙනවා…”

“පව්….උට එහෙම උනේ මං හින්දානේ….”

“ඔහොම නෙමෙයි… වෙන්න තියෙන්නේ…. මේං මෙතන සුදු අයියා වැටිලා හිටියෙලු…. මැරිලා කියලාලු හිතුවේ… පාල මල්ලී මට විස්තරේ කීවා…. මට නෙමෙයි මැහි තෙල් බොන්න තිබුනේ…. අයියට පොව්වන්න තිබ්බේ….”

මේනකා නංගී රස්තියාදුකාරයාගේ අත තුරුල් කරගෙන කියවනවා…

“පිස්සු ඕකට… මං අයියට කැමතියි .. මං යන්නේ අයියා එක්ක විතරමයි…. කියලා මං ඊයෙත් ඕකට කීවා… ඌ කියනවා…. සුදු අයියවත් මරලා … මාවත් මරලා… එයත් මැරෙනවලු….. ඇයි… සුදු අයියේ අපේ අයියට ඔච්චර පිස්සු…ඔය තරම්…”

මේනකා නංගිගේ කතාවට රස්තියාදුකාරයාගේ බඩ පපුව දාගෙන ගියා… ඌට පිස්සු වැට්ටුවේ තමන්…ය…

“නංගී දන්නවද…සුද්දා මට ගැහුවේ… අපි දෙන්නගේ හුටපටේට නෙමෙයි….’

“ඒ කියන්නේ….”
ඌ නංගිට කියලත් නෑ…. සුදු නංගිගේ විස්තරේ…. සුද්දා ගැන රස්තියාදුකාරයාට මාර හැගිමක් ඇති උනේ….

“අයියා …අපේ සුදු නංගි ගැන නංගිට මුකුත්ම කීවේ නැද්ද….”

මේනකා නංගී රස්තියාදුකාරයාගේ මුන දිහා හොදට බැලුවා…. මොකක්ද…මේ කියන්න යන්නේ…

“නෑ…. කව්ද සුදු නංගී ….අනුශී අක්කාද….”

“හ්ම්… අනුශී තමයි….”
රස්තියාදුකාරයා ලොකු හුස්මක් හෙලුවා….

“සුද්දා මට ගහන්න ඉස්සරින් දවසේ අපි දෙන්නා රෑ වෙනකං මාටිං මාමාගේ පැලේ කයිය ගගහ හිටියේ…එතකොට තමයි සුදු නංගී ගැන විස්තරේ…ඌ මට කීවේ…”

“ඒ කියන්නේ…”

“සුද්දා සුදු නංගිත් එක්ක යාලු වෙන්න අහලා… ඒකිත් කැමතියි කියලා… ඌ හෙන සන්තෝසෙන් හිටියේ එදා…”

“ඉතිං සුදු අයියා කියනකං හාංකවිසියක්වත් මං දන්නේ නෑනේ…”
“හුඟ කාලෙකට ඉස්සැල්ලා සුදු නංගිගෙයි…මගේයි…සම්බන්ධයක් තිබ්බා…..ඒක හුඟක් දුර ගිහිල්ලා ඒයාගේ අකමැත්තෙන් නතර වුනා….මේ ගැන එයයි මායි ඇරෙන්න කවුරුත්ම දන්නේ නෑ….”

කෙල්ල තමන්ගේ අල්ලං හිටපු අත හයියෙන් මිරිකපු බැව් රස්තියාදුකාරයාට දැනුනා…

“හුඟාක්…. දුර ගියා කීවෙ….

“වෙන්න තිබ්බ ඔක්කොම…. මං කියලා තියනවනේ නංගියේ මං හෙන නරක එකෙක් කියලා….”

“ඉතිං සුදු අයියද…සම්බන්ධය නැවැත්තුවෙ…”

“නෑ …එයාම තමයි…මාව හම්බවෙන එක නැවැත්තුවේ….”

කෙල්ලගේ ඇස් දෙක අග පුංචි කදුලු බිංදු නලියනව… රස්තියාදුකාරයාට තමං ගැනම ලොකු තරහක් ආවා.. ඇයි දෙයියනේ මං හැමොවම අඩවන්න ද… ඉපදිලා තියෙන්නෙ…

“මට ඔය දේ සුද්දට කියන්නේ කොමද… හුඟාක් හිතලා මං සුදු නංගිව හම්බවෙලා සුද්දගෙ හැටි කියලා ඕක ගොඩින් විසදගන්න බැලුවා… හරී ගියේ නෑ…. සුද්දට බය වෙච්ච එයා ඔක්කොම කතාව කියලා… මං සැහෙන ලොකු වැරදිකාරයෙක් වුනා…

"නංගියේ මට තවත් සුද්දාගේ ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න පුලුවන්ද…?.. ඒකයි ඌ එදා මට ගැහුවේ…අපි දෙන්නගේ සම්බන්ධය ඌ පස්සේ දන්නේ.. මෙච්චර දෙයක් වෙලා තියෙද්දී ඌ මේකට නම් මේ කපෙදී ඉඩදෙන්නේ නෑ…”

කවදාවත් නැතුව කෙල්ල ගොලු උනා…

“ඒක තම්යි අනුශී අක්කත් …මාරුවක් හදා ගෙන…ගමේන් ගියේ….”
කෙල්ල අන්තිමේදි මිමිණුවා…

දෙන්නම ගොලු වෙලා මොහොතක් හිස් අවකාශයට ක්ෂය කරලා දැම්මා….

ඉර ගිලෙද්දී….කලුවර අරන්… පරෙයි රෑනම…පල්ලම් බහින්න ඉස්සැල්ලා අන්තිම වටේ ගහනවා…….
රස්තියාදුකාරයා විසිල් පාරක් ගැහුවා….ම්… ප්ර්තිචාරයක් නෑ…
රස්තියාදුකාරයා තව පාරක් හයියෙන් විසිල් එක ගැහුවා…
පරෙයි රංචුවම රවුමට පාතට ඇවිත්…. බෝක්කුව ගාවට පාත් වුනා…..
රස්තියාදුකාරයා පත්තර කැල්ලෙක ඔතාගෙන ඇවිත් තිබුන පරිප්පු ඇට ටික…දිග ඇරලා..;;කෙල්ලගේ අතේ තිබ්බා….. මේනකා නංගී පිටි අල්ලෙන් කදුලු ටික පිහදාගෙන.. පරිපු ඇට ටික ටික පරෙයියන්ට දැම්මා….

ඕක්කොම දාපු කෙල්ල බොක්කුව උඩ හිටගත්තා…රස්තියාදුකාරයාට අත දික් කලා…

“ය…ං ….”

“කො..හෙ..ද…?”

“කොහේ…හරී…” 

කෙල්ල හිමිට කීවා… ඒ ඇස් දෙක දිලිසෙනවා…අඩ අදුරට……ඒ එලියෙන්… තමංගේ ලෝකය එලිය කරගන්න ඕනේ… නැත්තං හැමදාම බෝක්කුව උඩ පාලු අඳුරත් එක්ක තමයි ඉන්න වෙන්නේ….. රස්තියාදුකාරයා ඒක දන්නවා….

මිනිහා කෙල්ලගේ අත අල්ලං නැගිට ගත්තා…

බයිසිකලේ කෙලිං කරගත්ත රස්තියාදුකාරයා මේනකා නංගිව බයිසිකල් බාර් එකේ වාඩිකරගෙන… ඒ සුවද විදගෙන…බරටම පෑගුවා….

ඒ පැගුවේ සුද්දලගේ ගෙවල් පැත්ත්ට නෙමෙයි… රස්තියාදුකාරයාගේ ගෙවල් පැත්තට…
පරිප්පු ඇට ඔක්කොම ගිලපු පරෙයි ටික අයේ කෝඩයක් ගහාගෙන පල්ලං බැස්සා….

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

ඉඩොරේ අල්ලලා නොතිබ්බත් හුඟ කලක ඉදං වහින පාටක් තිබුනේ නම් නෑ…පාන්දර යාමේට හැමදාම පොඩි පොඩි පොදවල් කන්ද උඩහට වැටෙන ගමන් යාන්තමට ගම දිහාත් ඇස් ඇරලා බලනවා….. ඉතිං කවුරුත් හිතුවේ නෑ ලොකු වැස්සක් එවි කියලා… එත් එදා රෑ කොහෙදො මංදා තිබුන වැස්සක් ගමට ආවනේ…එක සීරුවට පාන්දර වෙනකං වැස්සා… පොඩි වුන්ට රජ මගුල් වුනත්, අකලට වහින වැහි ගැන වැඩිහිටියො සතුටු වුනේ නෑ…. කොහොම වුනත් උදේ පුදුම සිරියාවක් තිබුනේ ගස් කොලං වල. දොල පාරම ඉතිරිලා ඇනිකට් එක උඩිං පවා වතුර දැම්මා. අදනම් පොඩි වුන් ස්කොලේ යන්නේ නැති බව ගමේ එවුං දන්නවා…
කොහොම හරි සුද්දලගේ අප්පොච්චියි අම්මයි, එදා හවස සැහෙන්න ගින්දරෙන් හිටියේ මේනකා ගෙදර නාපු එක ගැන… වැස්ස පටං ගන්න හදදිම සේන මාමා ලොකු කෙලී හොයාගෙන යද්දිම ආරංචිය ආවා මේනකා රස්තියාදුකාරයාගේ පුස් සයිකලේ නැගලා ඌංගේ ගෙදරම ගියපු විත්තිය… ආපහු හැරුන සේන මාමා ගෙදර ඇවිත් පුංචිටත් විස්තරේ කීවේ පුදුම සැහැල්ලුවකින්…
මේනකා නංගී එදා ගෙදරඅවේ නෑ…. රස්තියාදුකාරයාගේ තාත්තා … දෑවැදිත් නැතුව ආපු ලේලිව පිලිගත්තේ පුදුම ලෙංගතුකමකින්.... ඇයි මේ කෙල්ල හින්දාවත් රස්තියාදුකාරයා හැදුනොත්…කොහොම කොහොම හරි එදා රෑ වැස්සත් එක්ක රස්තියාදුකාරයාගේ පැලේ තනිය මැකුනේ මොනවා කරත් මිනිහා ගිය ආත්මේ සෑහෙන පිනක් කරලා තියෙන හින්දාද කොහෙද…

සුද්දා අවේ පහුවදා… ටවුමේ බෝ ගහ ගාවින් බයික් එක දාද්දිම රස්තියාදුකාරයා මේනකාව අරං ගිය විත්තිය උගේ කනට වැටුනා…වෙඩිල්ලක් වගේ මිනිහා මුලින්ම ගියේ ගෙදර… සේන මාමාවත් තල්ලු කරගෙන ගෙට ආපු ඌ ඇඳ යට තිබුන කඩුවක් අරගෙන ආයේ නැංගා බයික් එකට

සුද්දාගේ බයික් එකේ සද්දේ හොදටම අදුරන්නේ රස්තියාදුකාරයා....උදේ ඉදං රස්තියාදුකාරයා බලං හිටියේ මාරයාගේ පැමිණීම…රස්තියාදුකාරයා වත්ත කෙලවර ඉදං ඈතිං පේන බොක්කුව දිහා මඟ බලං හිටියේ…එතන හංදියෙං සුද්දා කොයිවෙලේ හරි පිඹගෙන එන විත්තිය ඌ දන්නවා…

රස්තියාදුකාරයාගේ හිත හයියයි… මේනකා නංගි හින්දා ඒ හිත දැං වෙන කවදාටවත් වැඩිය හයියයි… දෙකෙන් එකක් කෙලවර වෙයිනේ…හැමදාම තනියෙං මැරේන්නත් බෑනේ… හිතා ගත්ත රස්තියාදුකාරයා බලං හිටියා…

“බ්ර්ම්..බ්ර්ම්…..”

රූපේ නොපෙනුනත්, ඒ සුද්දා බැව් රස්තියාදුකාරයා දන්නවා. ඉතිං මිනිහා බලං හිටියා වෙල් යායේ ඈතිං වැලමිට හංදියෙන් බොක්කුව ගාවට උගේ රූපේ පේනකං….
දුං දාගෙන ආපු බයික් එක බොක්කුව ගාවදි ඇලවෙනවා රස්තියාදුකාරයා දැක්කේ නෑ…. බ්ර්ම්..බ්ර්ම්…ගාපු රේසිං සද්දේ එකපාරට දුම් පාරත් එක්ක නැතුව ගියා…
රස්තියාදුකාරයා එහෙම්ම මොහොතක් බලන් හිටියා…. මොනවා හරි වෙච්ච විත්තිය මිනිහට හිතුනා…එතනින්ම නියරට පැනපු මිනිහා එක හුස්මට බෝක්කුව ගාවට දීව්වේ නියර උඩින්මයි…කගවෙනා වගේ බොක්කුව ගාවට ආපු මිනිහට මඩ වෙච්ච බෝක්කුව ගාව ලිස්සලා ගියපු ටයර් පාර හොදට පෙනුනා….
දොල පාරට එබිලා බලපු මිනිහට වතුර උඩට මතුවෙලා තිබුන ටයර් එකක් විතරයි පෙනුනේ… සුද්දා නෑ…මිනිහා එහෙම්ම වතුර පාරට පැන්නා…බයික් එක ගාවට ආපු මිනිහට තෙරුනා සුද්දා බයික් එකට යටවෙලා කියලා….. රස්තියාදුකාරයා සුද්දව අමාරුවෙන් ඇදගෙන උඩට අවා…

සුද්දගේ හුස්ම වැටෙන්නේ නෑ… රස්තියාදුකාරයා ඉක්මනට ආමි එකේ උගන්නලා තියෙන විදිහට පපු තෙරපුම් දිලා මව්ත් ටු මව්ත් කෘතිම ස්වසනය දුන්නා… ආයෙත් පපු තෙරපුම් දෙද්දි සුද්දා නහයෙන් කටින් වතුර දාගෙන ගැහෙන්න පටන් ගත්තා… සුද්දාගේ කකුල් දෙකේන් ලේ විදිනවා… රස්තියාදුකාරයා හොදට බලද්දී කකුල් දෙකම කැඩිලා… කරන්න කිසිම දෙයක් නෑ… අහල පහල වීල් එකක්වත් නෑ… රස්තියාදුකාරයා සුද්දව ගත්තා ගිනිබටේ… ඒ කියන්නේ හමුදාවේ තුවාල කරයෝ ගෙනියන විදිහක්…අරගෙන බොක්කුව උඩට ආපු මිනිහා එක හුස්මට ටවුන් එක පැත්ත්ට දිව්වා….
රස්තියාදුකාරයා ටවුමේ බෝ ගහ ගාවදි තමයි වීල් එකකට සුද්දව දා ගත්තේ.. එහෙම්ම ඉස්පිරිතාලෙට ගෙනිච්චා මිනිහව… රස්තියාදුකාරයායි, සුද්දයි දෙන්නම ලේ වලින් නෑවිලා…
බලපු ගමන් ඩොක්ටර්ලා සුද්දව දැඩි සත්කාර ඒකකයට දැම්මා….

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

සුද්දගේ කකුල් දෙකම කැඩිලා තිබුනේ බයිසිකලේ ඇඟ උඩටම පත බැවුන එකේ..... හොද වෙලාවට ඔහොම බේරුනේ කියලා කවුරුත් කීවට …. සුද්දට මතකයි රස්තියාදුකාරයා හති දාගෙන හැතප්මයක් තමන්ව උස්සගෙන එනවා…මිනිහා හරියටම මාසයකුත් දවස් 4 කුත් ඉස්පිරිතාලේ හිටියා… පස්සේ රස්තියාදුකාරයාමයි වීල් එකක දාගෙන මිනිහව ගෙදර එක්කගෙන ගියේ....
ගමේ ඕක්කොම කීවේ, රස්තියාදුකාරයාට කරපු වැඩේට තමයි ඔහොම උනේ කියලා…. ගමේ මිනිස්සු බයික් එක ගොඩට ගද්දී බොක්කුව ගාව වැටිලා තිබුන සුද්දගේ කඩුව දොලපාරටම දැම්මා…. වතුර අඩුවෙලා අඩිය පේන කාලෙට ඒක හොදට පේනවා…. සෑහෙන කාලයක් කඩුව එතන තිබුනා… ගමේ කවුරුවත් ඒක ගත්තෙත් නෑ…. ඇවිදින්න පටං ගත්ත සුද්දා ඒක ගත්තේත් නෑ……
සුද්දට වැඩියෙන්ම උපස්තාන කරේ මේනකා නංගී… අතිං අල්ලං ඇවිද්දුවේ රස්තියාදුකාරයා…. කොහොම….කොහොම හරි සුද්ද්ට අයේ ඇවිදින්න පුලුවං වුන ගමන් මේනකයි, රස්තියාදුකාරයායි…කච්චේරියෙදි බැංදා... මං හිතන හැටියට ඒදා වැඩියෙන්ම සතුටු වෙන්න ඇත්තේ සුද්දා…..

ඒ කාලෙන් පස්සේ ගමේ මිනිස්සුන්ට රස්තියාදුකාරයාව කවදාවත් බොක්කුව උඩ ඉන්නවා දකින්න හම්බුනේ නෑ………………….
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

ෆෝන් එක රිංග් වෙනවා…. මම බැලුවා දන්නේනැති නම්බර් එකක්…මං ඉස්සුවා…

“හලෝ…”

“හලෝ කල්ප මල්ලිද…”

ආගන්තුක ගැබුරු ආමන්ත්‍රණයක්....සුවර් එකටම ගමේ කවුරු හරි..
මට කල්ප  කියන්නේ…ගමේ කස්ටිය විතරයි…

“ඔව්… කවුද… මේ….”

“අඳුරන්න බෑ නේ ද…?”

ම්… මන් කල්පනා කලා…අවුරුදු ගානකින් අහලා තිබුනේ නැත්ත් මට ඒ ගැබුරු ස්වරය අමතක කරන්න පුලුවන් වෙයිද…ඒ රස්තියාදුකාරයා….

“හප්පේ…අයියට කොහෙන්ද මේ නම්බර් එක…. අවුරුදු ගානකින්…අහන්නත් සංතොසයි….”

“උඹලා අම්මගෙන් ඉල්ලා ගත්තේ… මොකක්ද මේ උඹ face book එකේ කාතවක් ලියනවා කියන්නේ…..ඒක අහන්න මන් කතාකලේ…”

“අයියා කියේව්වද….”

“හ්ම්….”

“ඉතිං…”

“ඉතිං…කියන්නේ බං…කවදා ඉදන්ද…උබ සියාතු මාමාගේ ජොබ් එක බාර ගත්තේ….කියලා අහන්න මං ගත්තේ….”

මට නිකන් කනේ පාරක් ගැහුවා වගේ…. සියතු මාමා කියන්නේ ගමේ හිටිය හොදම රොයිටර්…

“සොරි අයියේ….. එහෙම දෙකට නෙමෙයි….”
මං ගොතගැහුවා….

“විහිලුවක් කලේ බං… මුලු ගමම ඔය කතන්දරේ දන්නවනේ… අනික උඹ බොරුවක් ලියලා තිබ්බේ නෑනේ… කොහොම උනත් සන්තොසයි…මට ඇයි දන්නවද…”

“ඇයි…”

“උඹලා ගමෙන් ගිහින් …ලොකුවට ඉගෙන ගෙන..ලොකු ලොකු ජොබ් කලාට… උඹලාට තාම අපි මතක එක ගැන…මල්ලී…”

“පොඩි කාලේ ඉදං එකට හිටපු අයව…කොහොම අමතක කරන්නද…අයියේ…ඉතිං…කෝ මේනකා නංගී….”

“ඉන්නවා ඉන්නවා….උඹ ලගදී ගමට ආවේත් නෑනේ….දුවෙක් හම්බවුණා….මං දැන් තත්තා කෙනෙක්…..”

නියමයිනේ…මගෙන් සුබ පැතුම්…”

“ස්තුතියි මල්ලී…”

“ දුවෙක් කීවා නේ….පරිස්සං කරගන්න වෙයි… රස්තියාදුකාරයන්ගෙන්….”
මන් කියපු එකට මිනිහට හිනා…

“හ්ම්…. හ්ම්…බලමුකෝ නේ මල්ලී…”

“සුද්දා කෝ අයියේ…”

"බැංදා මල්ලී…… කව්ද දන්නවද ….සුදු නංගිවම තමයි…”

“ නෑ…..”

“ම්…මිනිහා සැහෙන්න වෙනස් උනා මල්ලී අරක්කු බිංදුවක් කටේ තියන්නේ නෑ…”
මට අදහාගන්නත් බෑ….

“මිනිස්සු වෙනස් වෙන්න ඕනේ බං….නැත්තං උංට ජිවිතයක් නැතිවෙනවා…”
මිනිහා මහ අමුතුම කතවක් කීවේ….

“අයියා දැන් මොකො කරන්නේ… රස්සාවක් කරනවද…?”

“ආමි එකෙන් අයින් උනා මල්ලී..පහුගිය කාලේ පොදු සමාවක් දුන්නේ එතකොට…බොක්කුව ගාවින්ම පොඩි කඩයක් දැම්මා…බිස්නස් හොදයි…”

“අන්තිමෙදි…බෝක්කුව ගාවටම ආව නේද….”

මිනිහට අයෙත් හිනා…

“ගම් පැත්තේ එන්නේ නෑ…”

“නිවාඩු නම් නෑ අයියේ…අවොත් එන්නම්…ඒ පැත්තේ…”

“වරෙං…වරෙං… ගොයම් කපන්න ඉස්සැල්ලා…..දන්නවනේ නැත්තන් හුස්මක් ගන්න වෙන්නේ නෑ….”

“ම්…. බලමු…”

“මං එහෙනම් තියන්නම් මල්ලී…නොම්බර් එක මගේ ඕන වෙලාවක කෝල් එකක් ගනින්…”

“හරී අයියේ…. මන් සේව් කරගන්නම්…”

“බුදු සරණයි……”

“බුදු සරණයි අයියේ….”
ෆෝන් එක කට් උනා…..

“මිනිස්සු වෙනස් වෙන්න ඕනේ බං….නැත්තං උංට ජිවිතයක් නැතිවෙනවා…”

මට ආයිමත් හිතුනේ රස්තියාදුකාරයා කියපු දේ….ඒක කොච්චර ඇත්තද……
.
.
.
.
.
ඉවරයි………………………………..

2 comments:

  1. පට්ට මචන් ලෙසටම ලියල තියෙනවා එක හුස්මට කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. තැන්කු කුලේ මල්ලී.... මේ තමයි මම ඉස්සැල්ලම ෆේස් බුක් එකේ කොටස් වශයෙන් ලියපු කතාව.....මීට අවුරුදු දෙක්කට ඉස්සැල්ලා.... ටිකක් දිග වැඩි ඒකයි.....

      Delete

මරීනයි මායි...

මරීනයි මායි...